අලි රොෂාන්ගේ එරෙහි නඩුව දෙසැම්බර් 05

Share

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව නැවත දෙසැම්බර් මස 05 වැනි දින කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (28) සම්පත් අබේකෝන් ( සභාපති) සම්පත් විජයරත්න,චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිය.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ හා ලේඛන විත්තිය වෙත ලබාදීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

එමෙන්ම මෙම නඩුවට සාක්ෂිකරුවන් හත් දෙනෙකු අලුතින් එකතු කිරීමට අවසර දෙන මෙන්ද රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

ඒ අනුව එම සාක්ෂිකරුවන් හත්දෙනා අලුතින් එකතු  කිරීමට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල  විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන නිසි පරිදි ඉදිරිපත් කර තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත දෙසැම්බර් මස පස්වනදා කැඳවීමට ද නියම කර තිබේ.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබාගැනීම තුළින් පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇති අතර එම නඩුවේ විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පත්මසිරි සහ අලි පොත භාරව ක්‍රියා කළ ලිපි කාරයෙක් වන  බී.සංජීවනී යන අය ද ඇතුළත් වෙයි.

Read more

Local News