තිලංගගේ ඉල්ලීම සඳුදාට කල් යයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා එහි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් භාර දී ඇති නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් විභාග කිරීම ලබන සඳුදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූවත් වෙනත් නඩු රාශියක් විභාගයට ගැනීමට නියමිතව ඇති බැවින් මෙම පෙත්සමේ විභාගය ලබන සඳුදා දක්වා කල් තබන බව විනිසුරුවරු නිවේදනය කළේය.

නිශාන්ත රණතුංග මහතා කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල මහතාට එම ධුරය සඳහා නාමයෝජනා භාරදීම සඳහා සුදුසුකම් නොමැති බවය.

එසේ තිබියදී ඔහුගේ නාමයෝජනා පත්‍රය ක්‍රිකට් නිලවරණ කමිටු විසින් භාරගෙන ඇති බව හා එය නීති විරෝධී බවද පෙන්වා දෙන පෙත්සම්කරු එබැවින් එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News