සිරිසේන නිදාගෙන ඉන්න අලි ටිකක් කීද්දුවා – නවීන් දිසානායක

Share

එක්සත් ජාතික පක්ෂය තුල තිබු මතවාද ඉවත් කර එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කල බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ කොත්මලේ ආසන බල මණ්ඩලයේ රැස්විමක් අද පුඩළුඔය නව නගර ශාලාවේ පැවති අවස්ථාවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් “මම සතුටුයි කියන්න මෛත්‍රීපාල සිරිසේන අපේ පක්ෂයේ මතවාද ඉවත් කරලා අපේ පක්ෂයේ එකමුතුකම ලබා දුන්නා. ගිය මාසෙ 26 වෙනිදා මේ දේ වුනහම අපිට පාක්ෂිකයො හැටියට හදවතට විශාල වේදනාවක් ඇති වුනා. තමුන්නාන්සේලාටත් එහෙමයි. තමුන්නාන්සේලා තමයි මේ කොත්මලේ ආසනයේ අස්සක් මුල්ලක් නෑර ගිහිල්ලා මෛත්‍රීපාලව ජනාධිපති කරන්න කියලා චන්ද ටික අරන් දුන්නේ. එහෙමනම් එයා ඒ පුටුවෙ ඉඳගත්තට පස්සේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට එතුමාගෙන් විය යුතු සේවය අවුරුදු 3 ½ ම වුනේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන නිදාගෙන ඉන්න අලි ටිකක් කීද්දුවා. මේ අලි ටික ශක්තිමත් වෙලා ඉදිරියට ඇවිල්ලා අපි අනිවාර්‍යෙයන්ම දවස් 10ක් ඇතුලත මේ රටේ පාලන බලය ලබාගන්නවා කියලා තමුන්නාන්සේලාට ප්‍රකාශ කරනවා.

එයාට එහෙම කියන්ඩ බෑ රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්න බැහැ කියලා. අපි තීරනය කරන්නේ අපේ නායකයා කවුද, අපේ අගමැති කවුද කියලා තීරනය කරන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන අපිට මතබේද ප්‍රශ්න තියෙන්න පුළුවන් එතුමාගේ ක්‍රියාකාරකම් ගැන ගැටලු තියෙන්න පුළුවන්. ඒක වෙන ප්‍රශ්නයක්. ඒක මේ අරගලයෙන් පස්සේ තීරණය කරන්න පුළුවන්. මේ අරගලයෙන් පස්සේ එතුමා එක්සත් ජාතික පාක්ෂිකයන්ට වැඩ කරන, එජාප පාක්ෂිකයන්ට රැකියා ලබා දෙන, ගම්වල වැඩ කරන යුගයක් ඇති කලේ නැත්නම් අපිටත් තීරණයක් ගන්න වෙනවා”. යැයි නවීන් දිසානායක මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News