ගාමිණී සෙනරත්ට රට යන්න අවසර

Share

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශ ගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහ අධිකරණය අද (07) අවසර ලබා දී තිබේ.

මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූවේය.

එහිදී ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට මේ මස 15 දා සිට 31 වන්දි දක්වා කාලසීමාව තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල සංචාරය කිරීම සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම එම කාල සීමාව සඳහා ලිහිල් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු විත්තිකාර සෙනරත් මහතාට පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ලිහිල් කිරීමට නියම කළ අතර ඒ බව ආගමන සහ විගමන පාලකවරයා වෙත දැනුම් දෙන මෙන්ද නියම කළේය.

මෙම නඩුව අද දින විභාගයට ගැනීමට නියමිතව තිබුණද විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන වැදගත් නඩු විභාගයට සහභාගී වන හෙයින් මෙම නඩුව කල් තබන මෙන් ඔවුන්ගේ කණිෂ්ඨ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය .

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩු විභාගය ලබන සදුදා (10) තෙක් කල් තැබීමට තීරණය කළේය.‍

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට  2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ,නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

Read more

Local News