සෙනරත් නැති ලිට්රෝ එක දිනෙන් දින පාඩු ලබන බව සාක්ෂිකරුවෙක් කියයි

Share

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ එම සමාගම රුපියල් බිලියන 18 ක ලාභයක් වාර්තා කළත් එය වර්තමානයේ පාඩු ලබන තත්වයකට බවට පත්ව ඇතැයි සාක්ෂිකරුවෙකු අද(11) කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පිළිගනු ලැබීය.

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ලිට්රෝ ගෑස් සමාගමේ මූල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන මුදිත තමානගම මහතා මේ බව ප්‍රකාශ කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාගය පැවැත්වෙයි.

විත්තිකාර ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ එම සමාගම රුපියල් බිලියන 18 ක ලාභයක් වාර්තා කළ බවයි.

එහෙත් 2015 වසරේ සිට 2018 වසර දක්වා කාලසීමාව තුළ එම ලාභය රුපියල් බිලියන 10 ක් දක්වා අඩුවී ඇතැයි පිළිගත් සාක්ෂිකරු මෙම වසරේ පසුගිය මාස 10 ක් කාලසීමාව තුළ මිලියන 146 ක් පාඩුවක් වාර්තා කළ බව පිළිගත්තේ ය.

රුපියල් බිලියන හතරක් වටිනා ගෑස් සිලින්ඩර මිලදීගෙන ඒවා ගබඩා කර තැබීම අකාර්යක්ෂම පාලනයක් බව පිළිගත් සාක්ෂිකරු ඉකුත් කාලයේ දේශපාලන වේදිකාවලදී ගෑස් සිලින්ඩර බෙදා දීම සිදූ බවද විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පිළිගත්තේය.

වැඩිදුර විභාගය හෙට(12) දිනට කල් තැබුණා.

Read more

Local News