ජනාධිපති තනිවී නොමැති බව ගම්මන්පිල කියයි

Share

ඇමති මණ්ඩලයේ ජනපති අගමැති ඇතුළුව ඇමතිවරුන් පත් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) වගන්තිය අනුව 30 දෙකෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද  (17) පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදිය.

ඒ අනුව පත් කළ හැකි උපරිම ඇමතිවරුන් ගණන 28ක් බවත් ඔවුන් විසින් අමාත්‍ය මණ්ඩල සඳහා 28ක් වෙනුවට 27ක් පත් කර  ආදර්ශයක් දුන් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ අතර සමහර ජ්‍යෙෂ්ඨයින් පක්ෂය අත්හැර යෑම වලක්වා ගැනීම සඳහා ඇමති තනතුරු ලබා දෙන බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “මේ අතරේ දෙමළ සංධානය මත රැඳුන ආණ්ඩුවක් නොවේ කියා රටට පෙන්වන්න නම් සංධානයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් ඇමති ධූර පූජා කරලා ආණ්ඩුවට ගන්න වෙනවා. මේ සියල්ල කරන්න තිබෙන්නේ ඇමති ධූර 28යි. ඒ නිසා මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රිවරයා සමඟ එකතු වෙලා ජාතික ආණ්ඩුවක් සැකසීමේ සූදානමක් තිබෙන බවට අපට වාර්තා වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(5) වගන්තිය අනුව වැඩිම මන්ත්‍රි ධූර ගණන ගත් දේශපාලන පක්ෂය විසින් අනෙකුත් දේශපාලන පක්ෂ සමග එකතු වීමෙන් තමයි ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ. මෙතැන පක්ෂයක් වෙනුවට පක්ෂ ලෙස සඳහන් වන නිසා එජාපයට මුස්ලිම් කොංග්‍රසයේ අලි සහිර් මවුලානා මන්ත්‍රිවරයා සමග එකතු වී ජාතික ආණ්ඩුවක් හදන්න බෑ. ඒ සඳහා අවම වශයෙන් තවත් එක පක්ෂයක් එකතු කර ගන්න වෙනවා.

මේ පිළිබඳ අධිකරණයට ගිහින් වැඩක් නෑ. පාර්ලිමේන්තු ක්‍රියාදාමයට අපට මැදිහත් වෙන්න බෑ කියලා මීට පෙර පැවැති ජාතික ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පෙත්සම්කරුවන්ට අධිකරණය කිව්වා. මේ නිසා මැතිවරණ පොරොන්දු කඩ කරමින් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ඇමතිවරුන් 28කට වඩා දිවුරුම් දෙන්න එපා කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අපි සිටියාට වඩා බලවත් කියා මම පසුගිය සෙනසුරාදා කිව්වා.  අපේ කණ්ඩායම 100 දක්වා ඉහළ නැග තිබෙනවා. ආණ්ඩුවේ සහෝදර පක්ෂ අල්ලා ගෙන සිටි විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ සංවිධායක ධූරය අපට ලැබෙනවා.

ඒ සියල්ලටම වඩා එදා එජාපය සමග සිටි ජනාධිපතිතුමා දැන් ඉන්නේ අපෙත් එක්කයි කියා අපි කිව්වා.  ඊයේ ජනාධිපතිතුමා එජාප නායකයින් ඉදිරියේ තබා ගෙන එජාපය රට විනාශ කරපු හැටි පෙන්වා දුන්නා.

නඩු තීන්දු ගැන රට කතා කරන මේ සමයේ ජ්‍යෙෂ්ඨයින් නොසලකා තමන්ට ඕනෑ විනිසුරුවරුන්ට උසස්වීම් ලබා දීලා කොල පාට උසාවියක් හදන්න උත්සාහ කරපු හැටි පෙන්වා දුන්නා.

මේ සියල්ල කිව්වේ දිවුරුම් දෙන්න ආපු අගමැතිට. ඒ කියන්නේ මගුල දවසේම කසාදය අවසන් වුණා වගේ වැඩක්. දත් තිස් දෙක මැද දිව තිබෙන්නා වගේ ඇමති මණ්ඩලය මැද තනිව සිටියත් රට වෙනුවෙන් සටන් කරන බව පළමු දවසේම ජනාධිපතිතුමා රටට ප්‍රදර්ශනය කිරීම පිළිබඳ අපේ ප්‍රණාමය එතුමාට පුද කරනවා.“ යැයි පැවසීය.

Read more

Local News