නිවාඩුවට පෙර පෙළ පොත් බෙදා හරින්න අකිලගෙන් උපදෙස්

Share

පාසල් පෙළපොත් බෙදාහැරීම පාසල් නිවාඩුවට පෙර අවසන් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, පාසල් සිසුන් වෙත ලබා දෙන පෙළ පොත් බෙදාහැරීමේ කටයුතු පසුගිය දින 50 පැවති ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අඩාල වී තිබූ බවට චෝදනා එල්ල වු බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවිඩයක් පෙළපොත්වල අන්තර්ගතව ඇතැයි පවසමින් පෙළපොත් බෙදාහැරීම ප්‍රමාද කිරීමක් සිදුව ඇති බව සහ මුද්‍රණය කිරීමට නියමිතව තිබූ පෙළපොත්වල පණිවිඩ ඉවත් කිරීමට ලබා දී තිබූ උපදෙස් හේතුවෙන් පෙළපොත් සිසුන් අතට පත්කිරීම ප්‍රමාද වූ බව මාධ්‍යවල පළවු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් ආරම්භ කරන විට සිසුන්ට අවශ්‍ය පෙළ පොත් ලබා දීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති අතර, අතර සම්ප්‍රදායානුකූලව පාසල් පෙළ පොත්වල අන්තර්ගත වූ අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවිඩය නීතිවිරෝධිව බලයට පත් වූ ආණ්ඩුවේ දේශපාලන අධීකාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබද කණගාටුව ප්‍රකාශ කර සිටියි.

අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් තමා සැමවිටම ජාතික ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ බවත් කිසි විටෙකත් තමා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සමග දේශපාලනය පටලවා නොගත් බවත් අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ආරම්භ කළ සියලු වැඩසටහන් සක්‍රීය කිරීමට පියවර ගන්නා බව ද අවධාරණය කර සිටියේය.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ආදී වැඩසටහන් රැසක් මේ වන විට අඩාල වී ඇති බවත් වහාම ඒවා යථා තත්වයට පත් කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Read more

Local News