ශ්‍රී පාදය වෙත විනෝදයට එන්න එපා

Share

විනෝදය සඳහා ශ්‍රී  පාදස්ථානය වැඳ පුදාගැනීමට නොපැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි පැවසීය.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදට යෙදී ඇති උදුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වූ අතර වන්දනා සමය එළඹෙන වෙසක් පුරපසලොස්වක පුන් පොහොය දක්වා පැවැත්වෙයි.

අවාරයේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහා විහාරස්ථානයේ තැන්පත් කර  තිබූ සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ අද අළුයම මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී පාද මළුව වෙත වැඩම කරවනු ලැබීය.

ඉන් අනතුරුව පැවති ආගමික වතාවත් වලින් අනතුරුව ශ්‍රී පාද සමය ආරම්භ වූ අතර පළමු දිනයේම විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය වැද පුදාගැනීමට පැමිණ තිබේ.

ශ්‍රී පාද වන්දනා සමය චාරිත්‍රානකූලව ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ දේව මන්දිරයේ තැන්පත් කර තිබූ සදාතුක කරඩුව ,සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පිටතට වැඩම කරවනු ලැබීය.

ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් පළමුවම සදාතුක කරඩුව වෙත මී පැණි පූජා කළ අතර පැමිණ සිටි බැතිමතුන්ද පුද පූජා පැවැත්වීම සිදු කළහ.

අනතුරුව ඊයේ අලුයම පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් පෙරහැර ශ්‍රීපාද මළුව දක්වා ගමන් ආරම්භ කිරීම සිදු කෙරුණේ ශ්‍රී පාද විහාරස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙනි.

අනතුරුව පංච තූර්ය ශබ්ද පූජා මධ්‍යයේ ශ්‍රී පාද උඩමළුව වෙත වැඩම කළ සදාතුක කරඩුව ,සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ සුබ මූර්තියෙන් උඩමළුවේ තැන්පත් කර ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් දෝවනය කිරීමෙන් පසු අද අළුයම බුද්ධ පූජාව පවත්වනු ලැබීය. සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වූයේ ඉන් අනතුරුවය.

Read more

Local News