නත්තල තවත් හුදු උත්සවයක් කර නොගන්න

Share

ජීවිතයේ උත්තරීතරත්වය පසක් කරන නත්තලේ ගැඹුරු අර්ථය කෙරේ වැඩි අවධානයක් යොමු නොකර, නත්තල තවත් හුදු වත් පිළිවෙතකට හෝ පරිභෝජන උළෙලක තත්ත්වයට පත්කර නොගන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කියා සිටිති.

මානව හිතවාදී හිත් හැරීමක් තුළින් සියලු මනුෂ්‍යයන් කෙරේ ගෞරවයක් ස්වභාවධර්මය සහ සමස්ත පරිසරය කෙරේ දැඩි සංවේදීතාවයක් දක්වන ලෙසත් පවසන උන්වහන්සේ සාමකාමී සහ පරිසර හිතකාමී දහම් දිවයිනක වෙසෙන වැසියන් ලෙස නත්තලේ සැබෑ අර්ථය වටහා ගෙන එහි මිහිර විඳගන්නැයිද සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.

නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

නත්තල හෙවත් දෙවියන් වහන්සේ මනුෂ්‍යයා වී අප අතර ඉපදීම, දෙවියන් වහන්සේ මුලු මහත් මනුෂ්‍ය සංහතියටම දැක් වූ විශේෂ උපහාරයක් වැනිය. ස්වර්ග ලෝකයේ සිට මිනිස් ලෝකයට පැමිණ මිනිස් සිරුරක විසීමටත් මිනිස් පවුලක ඇතිදැඩි වීමටත් කැමති වීමෙන් උන්වහන්සේ අපට හෙළිදරව් කරන්නේ මනුෂ්‍ය ජීවිතයේ අභිරහස්මය ස්වභාවයත් එහි ඇති උත්තරීතර වටිනාකමත් ය. එබැවින් නත්තල මිනිස් වර්ගයාගේ උත්තරීතරත්වයේ මංගල්‍යයයි.

ඒ එසේ වුවද, අද අප ජීවත් වන්නේ ජීවිතය හැම අතින් ම තර්ජනයට ලක්වන යුගයකය. මිනිස් ජීවිතය ආරක්ෂා කරනු වෙනුවට එය විනාශ කර දමන්නටත් එහි උත්තරීතර අගය පහත් කරන්නට සහ මුදලට එය මුලුමනින්ම යට කරන්නටත් වෙර දරන්නන්ගෙන් පිරි ලොවක් අද නිර්මාණය වෙමින් පවතී. වත්මන් ආර්ථික ප්‍රවාහය තුළින් කාලයක් තිස්සේ මිනිස් සමාජය ඉමහත් ගෞරවයෙන් සැලකූ සදාචාරසම්පන්න ආධ්‍යාත්මික හා ආගමික ගැඹුරකින් යුත් ශිෂ්ටාචාරයත් අභියෝගයට ලක් වී තිබේ. නත්තල ද පරිභෝජනයේ මංගල්‍යයක තත්ත්වයට ඇද දමන්නට බොහෝ දෙනෙකු උත්සාහ කරති. මේ පරිභෝජනවාදී ආර්ථික ක්‍රමය සැමවිටම කිරුළු පලඳන්නේ මිනිසුන් වහලුන් බවට පත්කරන ආත්මාර්ථකාමයට සහ අධික තණ්හාවටය.

එමඟින් බිහිවන්නේ ජීවිතයට අත දෙන වැඩපිළිවෙළක් නොව එය නැති කරන සහ ප්‍රසිද්ධියේ එය ප්‍රතික්ෂේප කරන ඝාතන සංස්කෘතියකටය. දින දින වැඩිවන මිනිස් ඝාතන, ගබ්සාව, උපත් පාලනය, ජාන පර්යේෂණ, මත්කුඩු ජාවාරම් ද මෙහි ප්‍රතිඵල වෙති. මේ අතරට හොර රහසේ සහ සංවිධානාත්මකව ඇතැම් විශේෂඥ වෛද්‍යවරු සහ තැරැව්කරුවන් පෞද්ගලික රෝහල්වල කාලයක් තිස්සේ සිදු කරගෙන යන වකුගඩු වෙළෙඳාම ද ඇතුළත් කළ යුතුව පවතී.

දේව පුත්‍රයාණන් ස්වර්ග ලෝකයේ වස්තු සම්පත් අතහැර දේව ස්වභාවය ද හිස් කරගෙන අප මිනිස් ලෝකයට සැපත් වන්නේ මොනතරම් සොඳුරු සහෝදරත්වයේ සහජීවනයක් සම්බන්ධයෙන් අපට සුවිශේෂ අනාවරණයක් ගෙන එන්න ද කියා අපි දනිමු. ශු. බයිබලයේ ද එය සටහන් වන්නේ මෙසේ ය. “උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත් දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙනම තබාගත යුතු වස්තුවකැයි නොසිතා තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින් වහලකුගේ ස්වරූපය ගෙන අප හා සමාන මිනිසෙකු වූ සේක.” (පිලිප්පි 2:6-7)

ඔබට ශ්‍රී සුබ නත්තල් මංගල්‍යයක් වේවා!

Read more

Local News