මහරගම සංවර්ධනයට රුපියල් මිලියන 435ක් – ව්‍යාපෘති 27ක්

Share

2018 වසරේ ගෙවුණු මාස 08 තුළ මහරගම නගර සභාව නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඉදිරිපත් කළ ‘මාවත’ නම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් මහරගම නාගරික බල ප්‍රදේශයට රුපියල් මිලියන 435 ක් ජනතා බදු මුදලින් ආයෝජනය කොට සංවර්ධන ව්‍යාපෘති 27ක් දියත් කර තිබේ. තවත් ව්‍යාපෘති 18 ක් නුදුරේදීම ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

බොරලැස්ගමුව වැව මහරගම සංවර්ධන සැළැස්මේ සුවිශේෂී ව්‍යාපෘතියකි. නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් මෙම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

මීට සමගාමීව ප්‍රදේශයේ ජනතාවගේ කායික සුවතාවය වෙනුවෙන් වැව වටා ඉදිකෙරෙන ශරීර සුවතා මංතීරුව ඉතා විධිමත් ලෙස ඉහළ ප්‍රමිතියකින් යුතුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිබෙන අතර වැවේ එක් අන්තයක ළමා උද්‍යානයක් සහ එළිමහන් රංග පීඨයක්ද ඉදිකිරීමට නියමිතයි. වැව සහ අවට සංවර්ධනය සඳහා සම්පූර්ණ ආයෝජනය රුපියල් මිලියන 345 කි.

මහරගම නගරයට බොහෝ කලක සිට අවශ්‍යතාවයක්ව පැවති අංග සම්පූර්ණ බස්නැවතුපොළක අවශ්‍යතාවය සපුරාලමින් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අංග සම්පූර්ණ බස්නැවතුම්පොළක ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබේ. ඒ සඳහා අයෝජනය රුපියල් මිලියන 65 කි.

එමෙන්ම මහරගම නගරයේ ඉදිකරමින් පවතින මහල් කිහිපයකින් යුතු රථවාහන නැවතුම්පොළ ද නුදුරේදීම ජනතා අයිතියට පතිකිරීමට නියමිතය. මහරගම වත්තේගෙදර කොට්ඨාසයේ අතුරු මාර්ග සංවර්ධනය වෙනුවෙන් රු. මිලියන 11.93 මුදලක් ආයෝජනය කරමින් ව්‍යාපෘති 16 ක වැඩ කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබී ඇත.

එළඹෙන 2019 වර්ෂයේදී ද මහරගම නාගරික බල ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් සැලසුම් සකස් කර ඇති බව වාර්තා වේ.

එහිදී ආගමික, අධ්‍යාපනික, නායකත්ව, කුසලතා හා තාක්ෂණික සංවර්ධන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇත.

Read more

Local News