ළමා හිංසන එරෙහි දිනය අදයි

Share

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම ජනවරි 04 දින ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නම් කර ඇත.

ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම, ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් ගොඩනැගීම පරමර්ත කර ගනිමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

“ළමයින් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතුයි.”

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති විසින් නිකුත් කරනු ලබන පණිවුඩය පහතින් දැක්වෙයි

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ. සෑම වර්ෂයකම ජනවාරි 04 වන දිනට යෙදෙන මෙය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ ළමා හිංසනයට එරෙහිව ක‍්‍රියාත්මක වීම මෙන්ම ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් ගොඩ නැඟීම පරමාර්ථ කරගනිමිනි.

දරුවන්ගේ ජීවිත වඩාත් යහමඟට යොමු කළ හැකි ප‍්‍රධාන පුද්ගලයන් වන්නේ දෙමව්පියන්ය. එමෙන්ම සමාජයේ සියලු වැඩිහිටියන්ගේද වගකීම වන්නේ ලෝකය භාර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමය. ලොව සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ළමයින් වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුළදීමය.

එමෙන්ම අද වන විට වර්ධනය වන ප‍්‍රවණතාවක් ලෙස අධ්‍යාපනය ලබන පාසල තුළදී ළමයින් හිංසනයට ලක් වන බව අසන්නට දකින්නට ලැබේ. මෙවැනි ළමා හිංසනයන් තුළින් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටීමත්, සෞඛ්‍ය හා මානසික තත්වය පිරිහීම තුළින් ඔවුන්ගේ පෞරුෂත්වය බිඳ වැටීමත් සිදුවේ.

මොවුන් පසු කළ සමාජයට වෛර කරන කෲරත්වයෙන් අනෙකා පෙළන සමාජයට අවැඩදායී පුද්ගලයන් බවට පත් විය හැකිය. එබැවින් වැඩිහිටියන් ලෙස අප සමාජයේ දරුවන්ව ආදරයෙන් රැකබලා ගැනීම හා ඔවුන්ට ආදර්ශවත් වන ලෙස ජීවත් වීමට වග වියයුතු වේ.

දරුවකු සිදු කරන වැරැද්දකට ශාරීරිකව දඬුවම් කිරීමට වඩා එම දරුවාට එය වැරැද්දක් බව ආදරයෙන් අවබෝධ කරදීම තුළින් ලැබෙන ප‍්‍රතිඵල වැඩදායක වේ.

එය ධනාත්මක ශික්ෂණ ක‍්‍රමය වන අතර, අප සිදු කළ යුත්තේ දරුවා නිවැරදි කිරීම, අවබෝධ කරදීම, දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ට නිවැරදි මඟ පෙන්වා දීමයි. විශේෂයෙන් ළමයින්ගේ අදහස් වලට ගරු කරමින් තීරණ ගැනීමේදී ඒවා ක‍්‍රියාත්මක කිරීමටද වැඩිහිටියන් වශයෙන් අප වග බලාගත යුතුය. එමෙන්ම, “මගේ දරුවා” යන සිතිවිල්ලෙන් මිදී “දරුවන් අපේ” යන සිතුවිල්ලට අප එළඹියයුතු කාලය පැමිණ ඇති බව දැනේ.

දැයේ දරුවන් ළමා හිංසනය ඇතුලු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතු බව මම විශ්වාස කරමි.

ඒ අනුව මෙරට වැඩිහිටි පුරවැසියන් වන අපි සෑමවිටම ළමයා ළමයෙකු බව වටහා ගනිමින් ඔවුන්ට දයාව කරුණාව හා සැලකිල්ල ආරක්ෂාව හැකි උපරිමයෙන් ලබා දෙමින් ඔවුන්ගේ ලෝකය වඩාත් යහපත් කරලීමටත් ඉන් මනා පෞරුෂයන්ගෙන් හෙබි, අනාගත පුරවැසියන්ගෙන් අභිමානවත් වූ සමාජයක් බිහි කිරීමටත් එක්සත්ව එක්සිත්ව එක්වන මෙන් ගෞරවයෙන් ඔබට ආරාධනා කරන්නෙමි. දරුවන්ට ප‍්‍රශස්තම පරිසරය නිර්මාණය කිරීම සඳහා ක‍්‍රියාත්මක වන “ජන පවුර” ජනතා වැඩසටහන සමග එක්වීමටද ආරාධනා කරමි.

Read more

Local News