දුම්රිය මාර්ගය නිරීක්ෂණයට ගිය අර්ජුනට විරෝධය (ඡායාරූප)

Share

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවට ගිය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට විරෝධයක් එල්ල වී තිබේ.

බෙලිඅත්ත දුම්රිය ස්ථානය අසලට රැස්වූ පිරිසකගෙන් මෙම විරෝධය එල්ල වි තිබේ.

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය පරික්ෂා කිරීම සඳහා පළමු වරට  දුම්රියක් ධාවනය කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව ඊට සහභාගීවීම සඳහා අමාත්‍යවරයා, නිලධාරීන් සහ මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමඟ අද උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත පිටත්ව ගොස් තිබූ බව සඳහන්ය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානය අසලට රැස්වූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් විසින් මහින්ද රාජජපක්ෂ මහතාගේ රුව ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයාට විරෝධය පළ කර තිබේ.

බෙලිඅත්ත දුම්රිය මාර්ගය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකරන ලද්දක් බව පවසමින් ඔවුන් විරෝධතාවයේ නිරත වී ඇති අතර දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රියේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනරයක් ඔවුන් විසින් ප්‍රදර්ශනය කර තිබුණි.

විරෝධතාව මධ්‍යයේ අමාත්‍යවරයා බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැග ඇති අතර සෙසු දුම්රිය බලධාරීන් සමඟ එම දුම්රිය මාතර දක්වා ගමන් කර තිබේ.

එහිදී අමාත්‍යවරයා සමඟ කොළඹින් ගිය මාධ්‍යවේදීන් හට දුම්රියට නැගීමට අවස්ථාව නොලැබී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News