ලැබූ පරාජයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරි කාලයේ කැපවන බව ජනපති කියයි

Share

සිව් වසරකට පෙර තමා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙළේ සාර්ථක මෙන්ම අසාර්ථක වූ අවස්ථා ද තිබූ බවත්, එහි දී ලැබූ ජයග්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරනවා සේම ලැබූ පරාජයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරි කාලසීමාව තුළ දී කැපවන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ලග්ගල නව හරිත නගරය ඊයේ(08) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමිනි.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස තහවුරු කරමින් සියලු ජාතීන් බියෙන් සැකෙන් තොරව ජීවත්වන සමාජයක් ගොඩනැගීම මෙන්ම නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාති රාජ්‍ය සේවයක් ගොඩනැගීමට සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉකුත් සිව් වසර තුළ වැදගත් පියවර රාශියක් ගත් බව ජනාධිපතිතුමා මෙහි දී සිහිපත් කළේය.

රට ගොඩනැගීමට ප්‍රබලතම අභියෝගයක්ව පවතින වංචාව, දූෂණය සහ අක්‍රමිකතාවය පිටුදැකීමට පසුගිය සිව් වසර තුළ සුවිශේෂී කැපකිරීමක් සිදු කළ අතර ඉකුත් අත්දැකීම් ආශිර්වාදයක් කර ගනිමින් දූෂණය සහ වංචාව පිටුදැකීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ඔස්සේ අත්වැල් බැඳ ගැනීමට එක් වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී සියලුදෙනාට ආරාධනා කළේය.

එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ අද රටට අවශ්‍ය වන්නේ පක්ෂ පාටවලට බෙදී බලය ගැන පමණක් සිතා පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන පිරිසක් නොව පොදු න්‍යාය පත්‍රයක් අනුව රට ගැන සිතා කටයුතු කරන පිරිසක් බවත්, අලුතින් සිතා, අලුතින් සැලසුම් කර අලුත් ගමනක් යාමට ලැබූ නව වසරේ අත්වැල් බැඳගන්නා ලෙස තමා සියලුදෙනාට ආරාධනා කරන බවත් ය.

රජ රට ජනතාවගේ ජල ගැටලුව විසඳීම සඳහා මොරගහකන්ද – කළු ගඟ දැවැන්ත වාරි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළා සේම, තමාට සැබෑ ලෙසම සතුටු විය හැක්කේ උතුරේ ජනතාවගේ ජල ගැටලුවට ද නිසි විසඳුමක් ලබා දුන් දිනක බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සමෘද්ධිය මෙන්ම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමේ පුළුල් මෙහෙවර ඉටුකිරීමේ දී ජාතින් අතර සමඟිය සහ සංහිඳියාව ගොඩනැගීමට කළ හැකි සෑම කාර්යයක්ම ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

Read more

Local News