විධායක ජනාධිපති ක්‍රමය නුසුදුසු බව රවී කියයි

Share

“ලලිත් ඇතුලත්මුදලි මහතා එදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන ආරම්භ කරලා ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙව්වා. නමුත් තවත් ඒ සටන දිනලා නැහැ. එතුමාගේ ගෝලයින් වශයෙන් අපි අදත් ඒ සටන දියත්  කරනවා.

මේ රටට විධායක ජනාධිපති ක්‍රමය සුදුසු නැහැ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

2018 වසරේ මාර්තු මස දිගන ප්‍රදේශයේ ඇතිවූ යම් කලහකාරී තත්ත්වයක් හේතුවෙන් විපතට පත් සිංහල සහ මුස්ලිම් පවුල් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් ඊයේ (08) දින ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“2018 මාර්තු මාසයේ දිගන ප්‍රදේශයේ ගැටලුවක් ඇති වුණා. එහිදී අපේ සිංහල සහ මුස්ලිම් පවුල් වලට හානි සිදුවුණා. ඒ අවස්ථාවේ මම පොරොන්දුවක් වුණා රජයෙන් වන්දි මුදල් ලැබෙන තෙක් රැකවරණයක් ලබාදෙනවා කියලා. අද මේ ඉටු කරන්නේ ඒ පොරොන්දුවයි. නමුත් මම මේ අවස්ථාවේ මතක් කරන්නේ ඒ නැති වූ ජීවිතවල වටිනාකම මුදලින් මිල කරන්න බැහැ කියල. හැකි ඉක්මණින් රජයෙන් ලැබිය යුතු වන්දි මුදල් ලබාදීලා මේ අයගේ ජීවිත සුරක්ෂිත කරන්න සැලසුම් කරලා තිබෙනවා.

“පාර්ලිමේන්තුවේ බහුතරයක් සිටින පක්ෂයකට තවත් පක්ෂයක් සමග ඒකාබද්ධවී ජාතික ආණ්ඩුවක ස්වරූපයෙන් කටයුතු කළ හැකියි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් වශයෙන් ක්‍රියා කරනවා. එය තවත් පුළුල් කිරිමක් පමණයි තිබෙන්නේ. මේ අවස්ථාවේ වල්මත් වෙලා තනතුරුදීම නෙමෙයි කරන්න ඕන. අපි සියලුදෙනාම පක්ෂ භේදයකින් තොරව එකතු වෙලා සාමූහිකව කටයුතු කරන්නයි ඕන. ඒවගේම වැදගත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ටත් නැවත අවස්ථාවක් ලබාදෙන්න ඕන ජනතාවට සේවය කරන්න.

වේදිකා හදන අය නෙමෙයි වේදිකාවල නටන්නේ. ඒකෙ වරදක් නැහැ.  තවමත් විපක්ෂ නායක සම්බන්ධන් මහතා බව කථානායකතුමා කිව්වා. ඇත්ත වශයෙන්ම ජනාධිපති සහ විපක්ෂ නායක යන දෙදෙනාම එකම පක්ෂයකින් වෙන්න බැහැ. රටට අහිතකර දෙයක් වෙනවානම්, ආණ්ඩුවේ හෝ  වේවා, විපක්ෂයේ හෝ වේවා එකම ස්ථාවරයක සිටිය යුතුයි. යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News