පොලිස් නිලධාරීන්ගේ දුක අසා විසඳුම් දෙන්න විශේෂ හමුවක්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය මගින් මාසිකව පවත්වනු ලබන පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි විමසා බලා විසදුම් ලබාදීමේ විශේෂ හමුවක් පැවැත්වේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 24 වන දින පෙ.ව. 8 සිට බත්තරමුල්ල, සුහුරුපායේ, 14 වන මහළේ පිහිටි නීතිය හා සාමය පිළිබද අංශ පරිශ්‍රයේදී හමුව පැවැත්වේ.

සෑම මසකට වරක්ම පවත්වනු ලබන මෙම විශේෂ හමුවේදී පොලිස් නිලධාරීන් මුහුණදී ඇති උසස්වීම්, මාරුවීම්, විනය දඩුවම් ආදී මෙතෙක් කල් නොවිසදී ඇති විවිධ වෘත්තීයමය, රාජකාරිමය ගැටළු පිළිබඳව තම දුක්ගැනවිලි ඉදිරිපත්කර ඒ සඳහා විසදුම් ලබාගැනීමට සෑම මට්ටමකටම අයත් පොලිස් නිලධාරීන් හට අවස්ථාව හිමිවී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2018.11.27 වන දින සහ 2018.12.10 වන දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ රැස්වීම්වලදී ලබාදුන් උපදෙස් අනුව පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි පිළිබඳව කටයුතු කිරීම සඳහා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.

එහි අනෙක් සාමාජිකයන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ අතිරේක ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා, අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා, ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සී.ඞී. වික්‍රමරත්න මහතා, නියෝජ්‍ය පොලිස්පති (ඔම්බුඞ්ස්මන් කොට්ඨාසය) ඩබ්ලිව්.එම්.එම්. වික්‍රමසිංහ මහතා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කටයුතු කරති.

ජනාධිපතිතුමගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරෙන මෙම මහජන හමුව සඳහා ඉහත කමිටුවේ සාමාජිකයන් ඇතුළු තවත් නිලධාරීන් රැසක් සහභාගි වීමට නියමිත ය.

එබැවින්, පොලිස් නිලධාරීන් ලෙස වෘත්තීයමය වශයෙන් ඔබ මුහුණදී ඇති ඉහත සඳහන් ආකාරයේ විවිධ ගැටළු සම්බන්ධ දුක්ගැනවිලි/අභියාචනා පිළිබඳ විස්තර මෙම මස 17 වන දිනට පෙර පහත සඳහන් ෆැක්ස් අංක වෙත එවීමට කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

ෆැක්ස් අංකය – 0112887474

Read more

Local News