මහින්දගේ අභියාචනා ලබන මස කැඳවයි

Share

අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මඟින් ඉකුත් දා නිකුත්කර තිබු තහනම් නියෝගයක් ඉවත් කරන මෙන් ඉල්ලා ඉකුත් දෙසැම්බර් මස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම් පෙබරවාරි මස 6 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම අභියාචනය අද අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී එම අභියාචනා වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ,දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය විසි දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් විසින් මෙම කරුණට අදාලව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස් කරගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලිඛිත උපදෙස් ලබාගැනීම සඳහා කල් අවශ්‍යව ඇති බවයි.

ඒ අනුව මෙම අභියාචනය වෙනත් දිනයක කැඳවන මෙන් ද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස් කර ගන්නේ නම් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සලකා බැලීමට සූදානම් බවයි.

ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා අදාළ අභියාචනා පෙත්සම පෙබරවාරි මස 6 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read more

Local News