ගෝඨාගේ නඩුවේ චෝදනා කියවයි

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවට අදාළ චෝදනාව අද කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ කියවා දෙනු ලැබීය.
පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
මෙම නඩුව අද(22) පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
චෝදනා කියවා දීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවයි.
අධිකරණ සංවිධානය සංශෝධන පනතට අනුව විශේෂ මහාධිකරණයට බලය පැවරී ඇත්තේ බරපතළ ආර්ථික සහ මූල්‍ය වංචා පිළිබඳ නඩු විභාග කිරීමට පමණක් බවත් මෙම නඩුව එවැනි ගණයට අයත් නොවන බැවින් එය විභාග කිරීමට ලේඛක විභාග කිරීමට විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට ද ජනාධිපති නීතිඥ රොමේෂ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.
වැඩිදුර විභාගය තවදුරටත් පැවැත්වෙයි.
සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.
ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

Read more

Local News