ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යහුවගත කිරීමේ සැලස්මක්

Share

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ක්‍රමවත්ව නගා සිටුවීමට ඉදිරි වසර තුන සඳහා කළමනාකාරිත්වය ප්‍රතිව්‍යහුවගත කිරීමේ සැලස්මක් රජය වෙත හදුන්වාදී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෙන්වා දෙන්නේ වියදම අවම කිරීම, ආදායම වැඩි කිරීම, අධි ඉන්ධන සැකසුම් ගාස්තු සහ විවිධ වියදම් අවම කර ගැනීම වැනි සැලසුම් රජය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

පසුගිය වසරේ අවසන් මාස 09 තුළ ගුවන් සමාගමේ කාර්යය සාධනය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ බව ප්‍රකාශ කර තිබේ.

අවසන් මාස 09 තුළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ශුද්ධ අලාභය අමෙරිකානු ඩොලර් මිලියන 135ක් වන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

ඉන්ධන මිල ඉහලයාම, පොලී වියදම් හා මුදල් අවප්‍රමාණය වීම හමුවේ වුවද පසුගිය මාස 09 තුළ ඉහල කාර්යය සාධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.

එම කාලසීමාව තුළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රධාන ගුවන් සේවා මෙහෙයුම්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 746ක ආදායමක් උපයාගෙන ඇති අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 8ක වර්ධනයක් බව වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ සංචාරකයින්ගේ පැමිණීම සියයට 36කින් වැඩි වී ඇති අතර ලන්ඩන්, ඩුබායි, අබුඩාබි, දෝහා සහ දිල්ලි ගුවන් ගමන් වාර වැඩි කිරීම නිසා එම මාර්ග වල කාර්යය සාධනය ද සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබේ.

ඉන්ධන මිල ඉහලයාමෙන් මෙහෙයුම් පිරිවැය වැඩි වීම හේතුවෙන් අදාල කාලසීමාව තුළ සමස්ත මෙහෙයුම් පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 902ක්  වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 15ක වැඩිවීමක් බව සඳහන්ය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2019 වර්ෂය ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිවහුවගත කිරීමේ වර්ෂය ලෙසයි.

Read more

Local News