මාවුස්සාකැලේ හා කාසල්රී ජල මට්ටම සීඝ්‍රයෙන් පහතට

Share

මධ්‍යම කඳුකරයට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතියි.

අද (24) දින පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 27 ක් හා 20 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පවසයි.

ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියෝන් හා  විමලසුරේන්ද්‍ර යන විදුලිබලාගාර සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ සහ කාසල්රී යන ජලාශ දෙකෙනි.

මෙම ජලාශ පිහිටි ජල පෝෂක ප්‍රදේශ වලට මේ  දිනවල පවතින වියළි කාලගුණය හා පෝෂක ප්‍රදේශවල පිහිටි රක්ෂිත සහ ලඳු කැළෑ වලට ඇතැම් පිරිස් ගිනි තැබීම හේතුවෙන් ජල මූලාශ්‍ර සීඝ්‍රයෙන් සිඳී යෑමේ තර්ජනයට ලක්ව තිබේ.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීමත් සමඟ ජලාශයට යටවී තිබූ පැරණි මස්කෙළිය නගරයේ නටඹුන් අතරින් ශ්‍රී ෂන්මුගම් හින්දු කෝවිල ජලයෙන් ගොඩවෙමින් පවතින අයුරු දක්නට ලැබේ.

එමෙන්ම බස්නාහිර පළාතට පානීය ජලය සපයන්නේද මෙම ජලාශ වලින් කැළණි ගඟට බැහැර කරන ජලයෙනි.

Read more

Local News