බන්ධනාගාර සිද්ධියේ දෙවන කමිටුවේ වාර්තාව හෙට

Share

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ දෙවන කමිටුවේ වාර්තාව හෙට දිනයේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියට භාරදීමට නියමිතව තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් 22 වන දින අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේදි රැඳවියන් පිරිසකට බන්ධනාගාර පරිශ්‍රය තුළදී පහර දෙන දර්ශන ඇතුළත් විඩියෝ පටයක් පසුගියදා මාධ්‍යයට මුදාහැරුණි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රි පුද්ගල කමිටුවක් තලතා අතුකෝරාල අමාත්‍යවරිය විසින් පත් කළ අතර එහි වාර්තාව පසුගිය සදුදා දිනයේ ඇය වෙත භාරදී තිබේ.

ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අදාල සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තවත් කමිටුවක් පත් කරවනු ලැබීය.

එම කමිටුව පසුගිය දිනවල අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ඇති අතර එහි වාර්තාව හෙට දිනයේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියට භාරදීමට නියමිතයි.

එම වාර්තා දෙකම සසඳා බලා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිදු වූ සිද්ධිය සමබන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරෙත්තු වන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය.

Read more

Local News