ටිල්වින්ගේ වන්දියෙන් මිදෙන්න විමල්ගෙන් අභියාචනයක්

Share

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන මෙන් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ඉකුත්දා තමාට එරෙහිව දුන් නියෝගය අහෝසි කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

මෙම අභියාචනය විමල් වීරවංශ මහතාගේ නීතීඥවරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම සඳහා අද (24) කොළඹ වාණිජ මහාධිකරණ හමුවේ ගොනු කරනු ලැබීය.

සිය නීතිඥවරුන් මාර්ගයෙන් අදාළ අභියාචනා අයදුම්පත ගොනුකරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටින්නේ තමා විසින් රචනා කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” නමැති ග්‍රන්ථය සඳහා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලේඛණ යොදා ගැනීම තුළින් බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත්දා තමාට එරෙහිව තීන්දුවක් ලබාදී ඇති බවය.

එම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන මෙන් එම නඩු තීන්දුව ඔස්සේ තමාට නියෝගයක් කෙරුණු බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියි.

වාණිජ මහාධිකරණය එම තීන්දුවට එළඹ ඇත්තේ නිසි කරුණු හැදෑරීමකින් තොරව බව පෙන්වාදෙන විමල් වීරවංශ මන්ත්‍රීවරයා එම තීන්දුව දෝෂ සහිත බව පවසා සිටියි.

මේ හේතුවෙන් අදාල වාණිජ මහාධිකරණ තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්ද  විමල් වීරවංශ මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News