ලොකු ළූණු ආනයනය කිරීම සඳහා කෝටා ක්‍රමයක්

Share

මෙරට ලොකු ළූණු ආනයනය කිරීම සඳහා කෝටා ක්‍රමයක් ඉදිරියේදී ඇති කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා අනුරාධපුර නොච්චියාගම ජයගම පානීය ජල ව්‍යාපෘතිය විවෘත කරමින් පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

දඹුල්ල, පොළොන්නරුව, අනුරාධපුර, ගලේවල යන ප්‍රදේශවල ලොකු ළූණු නිෂ්පාදනය අතීතයේ හෙක්ටෙයාර් 7000ක පමණ ප්‍රමාණයක් සිදු කළ ද මේවනවිට එය හෙක්ටෙයාර් 1000 දක්වා අඩුවී ඇති බවත්, එයට ප්‍රධාන හේතුව වශයෙන් මෙරට ලොකු ළූණු අස්වැන්න නෙළන සමය තුළ පිටරටින් ළූණු ආනයනය කිරීම බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මාර්තු, අප්‍රේල්, මැයි යන කාලය තුළදී මෙරට ලොකු ළූණු අස්වැන්න නෙළන සමය තුල ඉදිරියේදී ළූණු ගෙන්වන සමාගම් වෙත ආනයනය සීමා කිරීමටත්, කෝටා ක්‍රමය හඳුන්වා දීමටත් තමන් මැදිහත්ව කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ මාර්තු මාසය වනවිට විදේශීය ලොකු ලූණු තොග පිටින් අලෙවි කිරීම තුළින් දේශීය ලොකු ලූණු නිෂ්පාදකයා අතරමං වී ඇති බවත්, රට තුළට ගෙන්වන ලද ලූණු ප්‍රමාණය ගණනය කිරීමට ක්‍රමවේදයක් සකසන බවත්, තොග ගබඩා කර ඇති ලොකු ළූණු සමාගම්වල තොග අතිරික්ත මාර්තු සිට මැයි දක්වා නිදහස් නොකිරීමට කොන්දේසි පනවන බවත් වැඩිදුරටත් හෙතෙම සඳහන් කළේය.

දේශීය ලොකු ළූණු ගොවියා ගොවිතැනෙන් ඉවත්වීමේ ප්‍රවණතාවයක් රට තුළ මේ වනවිට ඇති වී ඇති බවත්, තමා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තාක් කල් එසේ නොවීමට වගා බලා ගැනීම තම අපේක්ෂාව බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී මුං ඇට, කව්පි, කුරක්කන් ඇතුළු බෝග සඳහා ආනයනය සීමා කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය කළේය. මෙවර මහ කන්නය සඳහා වී අලෙවි මණ්ඩලයෙන් ගබඩා 220 ක්ද පුද්ගලික අංශයේ ගබඩා 1500කට ආසන්න ප්‍රමාණයක් වී මිලදී ගැනීමේ කටයුතු සඳහා සූදානම් කරන බවද, පෞද්ගලික සමාගම් වෙත ඇපකර ණය රාජ්‍ය බැංකු මාර්ගයෙන් නිකුත් කර නියමිත මිලට රු. 38ට නාඩු ද, රු.41ට සම්බා ද මිලට ගැනීම සඳහා පෞද්ගලික අංශය වෙත අධීක්ෂණ කමිටු පත්කරන බවද , එසේ නොකරන සමාගම් වෙත නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News