කින්නියා ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ

Share

ත‍්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ(29) එම ප‍්‍රදේශයේ හට ගත් නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබේ.

ඊයේ පස්වරුවේ මෙම නොසන්සුන්තාව ඇති වුනේ නාවික හමුදාව විසින් සාවුරු පාලම පිහිටි ප‍්‍රදේශයේ නීති විරෝධීව වැලි ගොඩ දැමීමේ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

එහිදි වැලි ගොඩ දමමින් සිටි පිරිස නාවික හමුදා නිළධාරීන් දැක පලා යාමට උත්සාහ කර තිබුණි.

එහිදී දෙදෙනෙකු ගඟට පැන පිහිනා යාමට තැත් කිරීමේ දී අතුරුදන් වූ අතර ඉන් එක් අයෙකුගේ සිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

නාවික හමුදා ප‍්‍රකාශක ලූතිනන් කර්මාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, පහර කෑමෙන් තුවාල ලැබූ නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.

ඉන් සිව්දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ත‍්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.

නාවික හමුදාව සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් වැලි ජාවාරම්කරුවන් ගණන 07 කි.

ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, කුමන බාධා එල්ල වුවද වැලි ජාවාරම මැඩලීමේ මෙහෙයුම් තවදුරටත් දැඩි කරමින් අඛණ්ඩව සිදු කරන බවයි.

Read more

Local News