රංජන්ගේ නඩුව අදත් කල්යයි

Share

වගඋත්තරකාර පාර්ශ්වය මතු කළ විරෝධතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනීම හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව අධිකරණයට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවේ විභාගය මාර්තු මස 26 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එම විභාගය සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද(30) තුන් වන දිනටත් ආරම්භ විය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා විසින් විසින් පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් ඔස්සේ විකාශය කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයට අදාළ වීඩියෝ පට දෙකක් සාක්ෂි වශයෙන් මෙහෙයවීමට අවසර ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා පැමිණිල්ල විසින් මෙහෙයවීමට උත්සාහ කරන වීඩියෝ පට වල පිටපත් තමන් වෙත ලබාදී නොමැති බව කියා සිටියේය.

සාක්ෂි විශේෂ ආඥා පනතේ විධිවිධාන වලට අනුව මෙවැනි සාක්ෂියක් මෙහෙය වීමට දින 45 කට පෙර අදාළ වීඩියෝ දර්ශන තමන් වෙත ලබාදිය යුතු බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා එම නීතිමය ප්‍රතිපාදනය නීතිපතිවරයා විසින් අනුගමනය කර නොමැති හෙයින් මෙම සාක්ෂිය මෙහෙයවීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බව කියා සිටියේය.

එම විරෝධතාව පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම සාක්ෂිය මෙහෙයවීමට අද දින අවසර ලබා නොදුන් අතර නඩු විභාගය කල් දැමීමට තීරණය කළේය.

එලෙස සාක්ෂි වශයෙන් මෙහෙයවීමට අපේක්ෂා කරන වීඩියෝ දර්ශන වල පිටපත් වගඋත්තරකාර පාර්ශවයට භාරදීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් අනතුරුව නඩු විභාගය මාර්තු මස 26 සහ 27 දින වලට කල් තබන බවද  නියෝග කළේය.

මේ අතර මෙම නඩුව සඳහා වගඋත්තරකාර රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සාක්ෂිකරුවන් හතලිස් දෙදෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවක්ද රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දී තිබේ.

එම සාක්ෂි ලැයිස්තුවේ පළමු වන සාක්ෂිකරු ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කර ඇති අතර සෙසූ සාක්ෂිකරුවන් ලෙස රාවය කර්තෘ වික්ටර් අයිවන්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා, චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ යන අය ද නම් කර තිබේ.

Read more

Local News