පාර්ලිමේන්තුව ශක්තිමත් කිරිමට වෙනසක් වියයුතු බව ජනපති කියයි

Share

හොඳ රටක් හැදීමට ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය වුවත් එහි දී තමා අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනසක් මිස අන් අරමුණු ඉටු කර ගැනීමේ වෙනසක් නොවන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ පැවැති පුණ්‍යෝත්සවයකට ඊයේ(31) පස්වරුවේ එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ අද ඇතැමුන් කතා කළත් තමා අතට තවමත් එවැන්නක් පත්වී නොමැති අතර ඒ පිළිබඳ දැනුවත්වීමක් ද සිදු වී නොමැති බවයි. ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කිරීම එක් පැත්තකින් දකුණේ බෞද්ධ ජනතාව නොසන්සුන් කිරීමක් වන අතර අනෙක් පැත්තෙන් උතුරේ ජනතාව රැවටීමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම් එහි ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා තම සහයෝගය හිමිවන බව ද කියා සිටියේය.

ශක්තිමත් පාර්ලිමේන්තුවක් නොමැතිවීමේ අනිසි ප්‍රතිඵලය වන්නේ රටේ අනාගතය සඳහා අවශ්‍ය තීන්දු තීරණ ක්‍රියාවට නැංවීමට නොහැකිවීම මෙන්ම දේශපාලන ස්ථාවරත්වය ද අඩපණ වීම බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

නව උපක්‍රම ඔස්සේ විවිධ විදේශීය බලවේග අද මාතෘ භූමියට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා තමා විසින් ක්‍රියාවට නංවා ඇති දේශහිතෛෂි ජාතික වැඩපිළිවෙළ විවේචනයට ලක් වන්නේ ද එම අතපෙවීම් හේතුවෙන් බව කියා සිටියේය. තමන්ගේ ආණ්ඩු බලය පවත්වාගෙන යාමට සහ තමන්ට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට යමෙකු විදේශීය බලපෑම්වල ශක්තිය භාවිත කරන්නේ නම් එය මේ රටේ ස්වාධීනත්වයට සහ පැවැත්මට කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ සංහිඳියාව සහ ජාතික සමඟිය ඇති කරන මෙන්ම සියලු ජනතාව අතර සැක, බිය තුරන් කරන දේශපාලන ක්‍රමයක් සහ සමාජ වටපිටාවක් ගොඩනැගීම අද දවසේ සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද උපෝසථාගාරය සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(31) පස්වරුවේ මෙලෙස පැවැත්විණි.

Read more

Local News