එජාපෙ හා මුස්ලිම් කොංග්‍රස් ගිවිසුමකින් යළි ජාතික ආණ්ඩුවක්

Share

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ගිවිසුම් ගතවී යළිත් ජාතික ආණ්ඩුවක් සෑදීමේ තීරණයකට එළඹ තිබේ.

ශක්තිමත් ආණ්ඩුවක් බවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගැනීමට එජාප නායකත්වය තීන්දු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඊයේ (31) දින යොමුකර තිබේ.

නව ආණ්ඩුව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධානය නමින් නම්කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ධුරයක් පවතින අතර එම පක්ෂය සමග එක්සත් ජාතික පෙරමුණ ගිවිසුම් ගත වීම මගින්ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා වූ ව්‍යවස්ථානුකූල තාක්ෂණික කරුණු සපුරා ගැනීමට හැකිවනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීති විශාරදයෝ පෙන්වා දී තිබේ.

මුස්ලිම් කොංග්‍රසය සමග එක්සත් ජාතික පක්ෂය ගිවිසුම් ගතවීමට නියමිතව ඇත්තේ අදාළ නීතිමය කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග සමග ගිවිසුම් ගතවූ පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයකත් එකමුතුවෙන් නව සමගි සන්ධාන ජාතික රජය පිහිටුවන බව පාර්ලිමේන්තු මහලේකම් වෙත යැවන ලද යෝජනාවේ සඳහන්ව ඇත.

මේ අතර, නව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සඳහා එක්වීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසකගේ ද එකඟතාව මේ වන විටත් එජාපයට ලැබී ඇති බවද වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂය නව අයුරකින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම මගින් කැබිනට් අමාත්‍ය ධුර ඇතුළු අමාත්‍ය මණ්ඩලය වැඩි කර ගැනීමටද බලාපොරොත්තුවන අතර ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ජය ගැනීමද ආණ්ඩුවේ ඉලක්කය වී තිබේ.

Read more

Local News