ඝණ ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමයට නිෂ්පාදකයින්ගේ සහය

Share

අප්‍රේල් මස 01 දා සිට ඝණ ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ සුව ඇමැතිගේ තීරණයට නිෂ්පාදකයින්ගේ සහයෝගය හිමි වී තිබේ.

බෝනොවන රෝග පාලනය කිරිමේ අරමුණින් මෙතෙක් පැණිබීම සඳහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සඳහා ද අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කිරීමේ තීරණයට සහයෝගය ලබාදෙන බව ඝණ ආහාර දේශීය නිෂ්පාදකයින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට අද(01) පොරොන්දු  වී තිබේ.

බිස්කට්, බේකරි කෑම වර්ග සහ අනෙකුත් ඝණ ආහාර නිෂ්පාදකයින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී ඝණ ආහාර සඳහා වර්ණ සංකේත අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීරණය අගය කරන බවත්, ඊට පුර්ණ සහයෝගය ලබාදෙන බවත්, නිෂ්පාදකයින් පැවැසූහ.

තව ද මෙම තීරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා නිෂ්පාදන සමාගම් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා මාර්තු මාසයේ දී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද තීරණය කරන ලදි.

වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීම අප්‍රේල් මස 01 දා සිට ආරම්භ වන අතර, එහි නිල උත්සවය අප්‍රේල් මස 02 දා කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සාකච්ඡාවේ දී කරුණූ දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ,

“මම දේශීය පෞද්ගලික ව්‍යාපාර වලට බාධා කරන්නේ නැහැ. විවෘත වෙළෙදපොල, ලෝකයේ වෙනස්වීම් මම පිළිගන්නවා. රටක් සංවර්ධනය කිරීමට පෞද්ගලික අංශයේ දායකත්වය ඉතාම වැදගත්. බෝනොවන රෝග අතුරින් දියවැඩියාවට ප්‍රමුඛස්ථානයක් හිමි වෙනවා. එම නිසා තමයි පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කළේ. දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල මුදලක් වැය කරනවා. රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා වර්ණ සංකේත ක්‍රමය ඉවහල්වන බව මගේ විශ්වාසයයි. දියවැඩියා රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගත යුතුයි. සීනි භාවිතය අවම කිරීමට ජනතාව පුරුදු කළ යුතුයි. පැණිබීම සඳහා ද වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී බාධා මතු වුවත් එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මාස 06 ක කාලයක් ඔබලාට ලබාදුන් අතර, මීට පෙර දැනුවත් කිරීමේ රැස්වීම් 02 ක් පවත්වා තිබෙනවා. මම මෙම තීන්දු තීරණ ලබාගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුවයි. මෙම තීරණයට අනුකූල වන අයුරින් ඔබගේ නිෂ්පාදන වෙළෙදපොලට ඉදිරිපත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමය 2017 වසරේ සිට ක්‍රියාත්මක විය. එම වර්ණ සංකේත ක්‍රමය නිෂ්පාදනය කරනු ලබන ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර සඳහා ද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කළේ 1980 අංක 26 දරණ ආහාර පනතට අනුවය.

ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර වල අධික සීනි, ලුණු සහ මේදය අඩංගු වන්නේ නම් ඒ සඳහා වර්ණ සංකේතයක් ආහාර ලේබලයේ ප්‍රධාන රාමුවේ ප්‍රදර්ශනය කළ යුතු වෙයි. එමගින් පැණිබීම මිලදී ගැනීමේ දී වර්ණ සංකේත කෙරෙහි ජනතාව දැක් වූ අවධානය ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර මිල දී ගැනීමේ දී ද යොමු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.

Read more

Local News