ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව අද රැස්වෙයි

Share

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ‘ග්‍රාමශක්ති’ ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති  ප්‍රධානත්වයෙන් හෙට අද(08) පෙරවරුවේ මඩකලපුව, මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විමට නියමිතව තිබේ.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනතාවට යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වෝත්සාහයෙන් නැගී සිටීමට අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම විශේෂත්වයක් වන අතර, පෞද්ගලික අංශයේ ද දායකත්වයෙන් එය මේ වන විට සාර්ථක ව දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කෙරේ.

2018 වසරේ දී මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමශක්ති සමිතිවලට ලබාදී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 42ක් වන අතර අම්පාර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 66ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 33ක් ලබාදී තිබේ.

ජනාධිපතිතුමා ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන මඩකලපුව, මන්මුනෙයි, සතුරුකොණ්ඩාන් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද නියමිතව තිබේ.

පවුල් 468ක් ජීවත්වන එම ගම්මානයේ පවුල් 91ක්ම කාන්තාවන් ගෘහමූලිකත්වය දරන අතර එම පවුල්වල ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති පිළිබඳවත්, මතුව ඇති ගැටලු පිළබඳවත් එහි දී ජනාධිපතිතුමා සෙයා බැලීමට නියමිතය.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා මේ වන විට සක්‍රීය ව වැඩ අරඹා ඇති ගම්මාන 1000කි. ඉන් 700ක් ප්‍රජාපාලිත ගම්මාන වන අතර, 300ක් නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මාන ලෙස ක්‍රියාත්මක වෙයි. 2020 වන විට මෙම ගම්මාන සංඛ්‍යාව 4000ක් දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

Read more

Local News