ඥානසාර හිමිගේ සිරදඬුවම අත්හිටුවයි

Share

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියව සාපරාධී බියගැන්වීමේ චෝදනාවට අදාළව ඥානසාර හිමියන්ට පනවා තිබූ බරපතළ වැඩ සහිත මාස 6 ක සිරදඬුවම වසර 5කට අත්හිටුවීමට අධිකරණය අද(08) නියෝග කර තිබේ.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

පසුගිය ජනවාරී මස 30 වන දින ඥානසාර හිමිගේ සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව අද දවසේ ලබා දෙන බවට හෝමාගම අධිකරණය නියෝග කර සිටියේය.

මේ වන විටත් ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාලව අභියාචනාධිකරණ තීන්දුවකට අනුව වසර හයක සිරදඩුවමක් නියමව බන්ධනාගාරගතව සිටියි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව 2016 වසරේ ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ එම නඩුවේ පැමිණිලිකාරියක වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේදී බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ ජුනි 14 වැනිදා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඩුවම් නියම කෙරුණි.

ඉන් දින 8 කට පසු උන්වහන්සේ එම තීන්දුවට එරෙහිව හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් සලකා උන්වහන්සේව ඇප මත මුදාහැරුණි.

එසේ සිටියදී ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී අදිකරණයට අපහාස වන අයුරුන් හැසිරීමේ චෝදනාව මත අභියාචනාධිකරණය උන්වහන්සේට වසර 19 ක සිර දඩුවමක් වසර 6 කින් ගෙවී යන පරිදි පසුගිය වසරේ අගෝස්තු 08 වැනිදා නියම කළේය.

Read more

Local News