වාචාලකම් දොඩවන දේශප්‍රේමීන් ගැන රාජිත කියයි

43

වාචාලකම් දොඩවන දේශප්‍රේමීන් නිසා රට විනාශයට පත් වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසිය.

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ජා-ඇල බටඇල උතුර ප්‍රදේශයේ ඉදි කළ 07 වන ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව ඊයේ (09) පෙරවරුවේ විවෘත කරමින්  සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “අපේ රටේ සිටි දේශප්‍රේමීන් ඇතැම් පුද්ගලයින් විසින් ඝාතනය කළා. රටේ සුබසෙත වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. එවැනි අය තමයි දේශප්‍රේමීන් වන්නේ.

දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ඖෂධ කර්මාන්ත ශාලා 07 ක් මේ වන විට විවෘත කර තිබෙනවා.

එම ආයෝජකයින්ට හරිම පහසුවෙන් කර්මාන්ත ශාලා ඉදිකිරීමට හැකියාව ලැබුනා.

මොකද වෙනත් අය වගේ මම මුදල් ඉල්ලන්නේ නැහැ. මෙම කර්මාන්ත ශාලාවේ සභාපතිවරයා ද මම අද තමයි දැක්කේ.

රටක් ගොඩනැගීමට නිවැරදි තීන්දු තීරණ ගත යුතුයි. මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරිමත් සමග මෙරටට අවශ්‍ය සිරප් වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

මගේ බලාපොරොත්තුව 2019 වසර අවසන් වන විට මෙරටට අවශ්‍ය ඖෂධ වලින් සියයට 80 ක් නිෂ්පාදනය කර අවසන් කිරීමටයි. ඖෂධ ආනයනය කිරිම සදහා බිලියන ගණනක් වැය කරන මුදල ඉතිරිකර ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා.

දේශීය ඖෂධ කර්මාන්ත ශාලා මගින් ලබාදෙන ඖෂධ වල මිල ඉතාම අඩුයි. මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල පාලනය කර ඇති අතර, ඉදිරියේ දී තවත් ඖෂධ වර්ග 27 ක මිල පාලනය කිරිමට මම තීරණය කර තිබෙනවා. වෙළෙදපොලට වෙළෙදපොල හැසිරවීමේ ඉඩ  ලබාදිය යුතුයි.

මොකද රටක අධ්‍යාපනය, සෞඛ්‍ය දියුණූ කිරීම තුලින් සංවර්ධනය ඇති වන බව ලෝක බැංකුව ද පිළිගෙන තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සහ බෝනොවන රෝග පාලනය කිරිම සදහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබා දී තිබෙනවා. තවත් ඩොලර් මිලියන 100 ක මුදලක් ඉදිරියේ දී ලබාදීමට නියමිතයි.

අපේ රටේ ඖෂධ ආනයනය කරන ව්‍යාපාරිකයින් සිටින්නේ ටිකයි. නමුත් ඖෂධ භාවිතා කරන රෝගීන් ඉතා වැඩියි. අඩු මිලට ඖෂධ ලබාදීම වැඩපිළිවෙළත් මහරජාගේ කියලා හිතනවා ඇති. මොකද අපේ රජයේ ප්‍රචාරණය මදි. ඖෂධ සහ වෛද්‍ය උපකරණ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය සමග මම සාකච්ඡාවක් පැවැත්වූවා.

ඔවුන් කියන්නේ ඩොලරයේ මිල ඉහළ යාම නිසා පාඩුවක් ලබන බවයි. මම ඔවුන්ගෙන් විමසා සිටියා එලෙස පාඩුනම් සියයට 40 ක් බෝනස් දෙන්නේ කොහොමද කියලා. ඖෂධ මිල අඩු කරන විටත් බාධා එල්ල වුනා. වර්තමානයේ යළි සේනක බිබිලේ ගැන තැන තැන කථා කරනවා. ජාතියේ ප්‍රණාමය පුද කරනවා. ඖෂධ නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කරන විට ඇතැම් පුද්ගලයින් මටත් කිවුවා ඔය කරන්න බැරි වැඩක් කියලා. නමුත් මම එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා.

මම ධීවර ඇමැති කාලයේ දී ටින් මාළු කර්මාන්තය ආරම්භ කරන විටත් නිලධාරීන් ප්‍රකාශ කළෞ බැහැ කියලයි. නමුත් කර්මාන්ත ශාලා 04 ක් ස්ථාපිත කළා. මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යධූරය දරන කාලයේ ද ටින් මාළු කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට උත්සාහ කළත් එය කිරීමට නොහැකි වුනා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට ප්‍රකාශ කර තිබුනා කර්මාන්ත ශාලාවක් විවෘත කර දින 02 කින් වසා දැමුවත් මම ධීවර ඇමැති කාලයේ එය ආරම්භ කළා කියලා රටට කියන්න පුළුවන් කියලා.

නමුත් මම ධීවර ඇමැති කාලයේ ආරම්භ කළ කර්මාන්ත ශාලා විවෘත කිරීමට පැමිණීයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු එහිදී ප්‍රකාශ කළා රාජිත සේනාරත්න ශ්‍රේෂ්ඨ ධීවර අමාත්‍යවරයෙක් බව. මම ඖෂධ කර්මානත ශාලා හිමියන්ට ද කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙනවා අපට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කර ගැනීම සදහා.”