මහින්දානන්දගේ නඩුවේ ප්‍රගති වාර්තාව අප්‍රේල් 30ට දෙන්නැයි නියෝග

Share

පසුගිය ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදාදීම සඳහා රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදි ගැනීම තුළින් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව අල්ලස් කොමිසම අද(12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබිය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාලව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

එහි ප්‍රගතිය පිළිබඳ කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන මෙන් ද අල්ලස් කොමිසමේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

මෙම නඩුව දිගින් දිගටම ප්‍රමාද වන තත්වයක් දක්නට ලැබෙන බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම කටයුතුවල ප්‍රගතිය අප්‍රේල් මස 30 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමේ නීතිඥවරයාට නියම කළේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ දිවයිනපුරා ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීම තුළින් රුපියල් කෝටි පහකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Read more

Local News