ඉන්ධන මිල සංශෝධනය කිරීමේ මිල යාන්ත්‍රණයට අනුව ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ පස්වරුවේ රැස්වූ ඉන්ධන මිල සූත්‍ර කමිටුව විසින් අදාළ සංශෝධනයන් සිදුකර ඇති බවයි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දමා තිබේ.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ද මිල ඉහළ දමා ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 129ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 152ක් වෙයි.
මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 103ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 126ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රය පළමු වරට පසුගිය වසරේ මැයි මාසයේ දී හඳුන්වා දුන් අතර ජාත්‍යන්තර වෙළෙඳපලේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන මිල ද සංශෝධනය වීම සිදුකරනු ලබයි.
ඒ අනුව පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා අවස්ථා 4කදී ඉන්ධන මිල ගණන් වැඩි කර ඇති අතර අවස්ථා 5කදී ඉන්ධන මිල ගණන් අඩු කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ ගිය ද පසුගිය වසරේ මැයි මාසයේ පැවති මිලට වඩා අඩුවෙන් මේ වන විට ඉන්ධන මිල ගණන් පවතින බැවින් බස්, ත්‍රීරෝද රථ සහ අනෙකුත් සේවා ගාස්තු ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රජය පෙන්වා දෙයි.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දියන් ඔයිල් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දමා තිබේ.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ර8ල් මිල සංශෝධනය කිරීමට ඉන්දියන් ඔයිල් සමාගම මෙවර කටයුතු කර නොමැති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ර ල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.