වයස 60 ඉක්මවූ වැඩිහිටියන්ට බස් රථ 50ක්

Share

දිවයිනෙහි පිහිටි සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයක්ම ආවරණය වන පරිද්දෙන් පිහිටුවා ඇති වැඩිහිටි කමිටු වල සාමාජිකයන්ගේ වන්දනා හා විනෝද චාරිකා ඇතුළු වෙනත් ගමන් පහසුකම් වෙනුවෙන් බස් රථ 50 ක් ලබා දීමට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමති දයා ගමගේ මහතාගේ නියමයකට අනුව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මෙය සිදු කර තිබේ.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකටම බස් රථ 2ක බැගින් ලබා දීමට නියමිතය. මිලියන 250ක වියදමක් මේ සඳහා යොදවන බව ඇමතිවරයා පවසයි.

තවද, රජයේ වැඩිහිටි නිවාස, වැඩිහිටියන්ගේ සුව පහසුව උදෙසා වැඩිහිටි උවටැන් නිවාස සදහා වූ ශ්‍රී ලංකා ප්‍රමිතියට (1506:2015) අනුකූලව සියළු පහසුකම් වලින් සමන්විතව කඩිනමින් නවීකරණය කිරීමට ද ඇමතිවරයා මෙහිදි උපදෙස් ලබා දි ඇත.

ඒ අනුව ශාරීරික සුවතා, ප්‍රවේශ මාර්ග, සනීපාරක්ෂක පහසුකම්, අවකාශය, සෞඛ්‍යය පහසුකම්, ආහාරපාන හා රසාස්වාදය ලබාදීම වෙනුවෙන් ලෝකයේ දියුණු රටවල්හි භාවිතා කෙරෙන නවීන ක්‍රමවේදයන් මේ සදහා උපයෝගී කරගන්නා ලෙස ඇමතිවරයා අවධාරනය කරයි.

වැඩිහිටියන් ලෙස සලකනු ලබන්නේ වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස වන අතර 2012 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙන්නේ දිවයිනෙහි ලක්ෂ 25 කට අධික පිරිසක් වැඩිහිටියන් බවයි.

මෙය සමස්ත ජනගහනයෙන් සියයට 12.4 කි.

දිවයිනෙහි ලියාපදිංචි වැඩිහිටි නිවාස 306 කි.

ඉන් 06 ක් රජයට අයත් වැඩිහිටි නිවාස වේ.

සියළු නිවාසයන් හි නේවාසික පිරිස 8,355 කි.

වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම් ලාභී වැඩිහිටියන් වෙනුවෙන් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මාසිකව රු. 2000 ක  දීමනාවක් ගෙවනු ලබයි.

මෙම දීමනාව ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 416,667 කි.

වැඩිහිටි දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ඇතිව පොරොත්තු ලේඛනයේ තවත් වැඩිහිටියන් 101,317 දෙනෙකු පසුවන බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ වාර්තා පෙන්වා දෙයි.

Read more

Local News