තේ කර්මාන්තයේ ගැටළුවලට විසඳුම් දෙන්න ජනපතිගෙන් කමිටුවක්

Share

තේ කර්මාන්තයේ නියුතු ව සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලුව ඇතුළු තේ කර්මාන්තය ආශ්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලු පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විශේෂ කමිටුවක් පත්කර තිබේ.

තේ කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලුව පිළිබඳ ඊයේ(13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිතුමා විසින් මෙම කමිටුව පත් කරන ලදී.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ආර්. රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, තේ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.එල්.පී. විජේවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ජේ. විමලවීර යන මහත්වරුන් සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙන් ම ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ තැරුව්කරුවන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය නියෝජනය කරන නියෝජිතයෙකු බැගින් මෙම කමිටුවට ඇතුළත් ය.

තේ කර්මාන්තය ආශ්‍රිත ව පැණ නැගී ඇති ගැටලුවලට විසඳුම් ලබාදෙමින් එහි උන්නතිය උදෙසා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගවලට එළැඹීම සහ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණයි. මසක් ඇතුළත අදාළ කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු ය.

තේ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට මතුව ඇති බාධා සහ තේ අපනයනයේ දී මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙම හමුවේ දී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.

Read more

Local News