මධූෂ් ගැන පරීක්ෂණ කරන්න ශ්‍රිලංකා රජයට හැකියාවක් නෑ

Share

ඩුබායිහි අත්අඩංගුවේ සිටින අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මධූෂ් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙරට කිසිදු ආරක්ෂක අංශ නිලධාරීයෙක් එරටට ගොස් නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් එරටට ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එලෙස කිසිදු ආරක්ෂක නිලධාරියෙකු එම පරීක්ෂණ සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් නොමැති බවයි.

අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරික්ෂණ සිදුකරන බැවින් ඊට මැදිහත් වීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ පරීක්ෂණ සඳහා මැදිහත්වීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන්ය.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය විසින් අදාළ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජයට යම් දැනුම්දීමක් සිදුකළහොත් ඒ සඳහා සහභාගී වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සූදානමින් සිටින බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

මාකඳුරේ මධූෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු පසුගිය 05 වැනිදා අලුයම ඩුබායිහි සුපිරි හෝටලයක සංවිධානය කර තිබූ සාදයක් අතරතුර එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් ඔවුන්ගේ නීතීඥයින් පසුගියදා ඩුබායි වෙත ගොස් කරුණු සොයා බලනු ලැබීය.

එම නීතීඥයින් සඳහන් කළේ අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ලබන  27 වනදින එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී ඔවුන් සඳහා ඇප ඉල්ලුම් පතක් යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි.

Read more

Local News