Tuesday, March 19, 2024.

ශ්‍රීපාද වන්නදාවට ලක්ෂ  02 කට ආසන්න පිරිසක්

Share

මෙවර සති අන්ත නිවාඩුවත් සමඟ නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා වන්දනාකරුවන් ලක්ෂ  02 කට ආසන්න පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

වන්දනාකරුවන් අධික නිසා නල්ලතන්නියේ සිට සීතගඟුල දක්වා පැය කීපයක දැඩි තදබදයක් පැවති බව පොලිස්ථානාධිපතිවරයා පවසයි.

දිවයිනේ දුර බැහැර සිට පැමිණි වන්දනාකරුවන්ට මෙහිදී පැය දෙක තුනක් එකම ස්ථානයේ රැඳී සිටීමට සිදු වූ බව මෙම වන්දනාකරුවෝ පැවසූහ.

නල්ලතන්නිය නගරයේ, ශ්‍රීපාද බස් රථ ගාල් කිරීමට ප්‍රමාණවත් රථ ගාල් නොමැති හේතුවෙන් වන්දනාකරුවන් රැගෙන පැමිණි බස් හා වෑන් රථ නල්ලතන්නිය-මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ,  නල්ලතන්යේ සිට කිලෝ මීටර් 06 ක් පමණ දුරට මාවුස්සාකැලේ සමන් දේවාලය දක්වා මාර්ගය දෙපස ගාල් කිරීමට සිදු වීමෙන් නල්ලතන්නිය දක්වා එම දුර ප්‍රමාණය බොහෝ වන්දනාකරුවන්ට පයින් ගමන් කිරීමට සිදුවිය.

හැටන් ලංගම බස් ඩිපෝව මගින් කෙටි දුර සඳහා බස් රථ සේවයක් යොදවා තිබුණද වන්දනාකරුවන් අධික නිසා ශ්‍රීපාද කන්ද නැගීමට අමතරව තමන්ට තවත් කිලෝ මීටර් ගණනක් පයින් ගමන් කිරීමට සිදුවූ බව වන්දනාකරුවෝ පැවසුහ.

පෞද්ගලික දුරකතන සමාගම් කීපයක් විසින් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ස්ථාන කීපයකදී වන්දනාකරුවන් දැඩි ලෙස අපහසුතාවට පත්වන අයුරින්, මස්කෙළිය ප්‍රාදේශිය සභාවේද අනුමැතියකින් තොරව ජංගම දුරකථන සිම් කාඩ් පත් අලෙවිකිරීම් කටයුතු සිදු කළ නිසා එය නැවැත්වීමට පියවර ගෙන ඇත.

වන්දනාකරුවන් රැසක් අතරමංව සිටි නිසා නල්ලතන්නිය පොලිස්ථානයේ සම්බන්ධීකරණයෙන් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ විසුරුවා හරින සමන්ගිර ශ්‍රීපාද අධිබල ශබ්ද විකාශන සේවාව මගින් එම වන්දනාකරුවන් තමන් පැමිණි නඩ හා සම්බන්ධ කිරීමට පියවර ගත් බවත් පොලිස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කීය.

Read more

Local News