ශ්‍රී ලංකා ඉතිහාසයේ විශ්මිත ටෙන්ඩර් ගනුදෙනුව මෙන්න

Share

කෙරවලපිටිය ඉදිකිරීමට ‌‌‌යෝජිත එල්.එන්.ජී. බලාගාරය චීන සමාගමට පැවැරීමේ ටෙන්ඩරය ශ්‍රී ලංකා ඉතිහාසයේ විස්මිත ටෙන්ඩර් ගනුදෙනුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (19දා) පෙරවරුවේදී කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ටෙන්ඩර් මගඩිය නිසා ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව ගැටලුවකට ලක්වෙලා. (LNG බලාගාරයට) අඩුමිල ටෙන්ඩරය ඉදිරිපත් කර තිබෙන්නේ ලක්දනවි සමගමයි. ඔවුන්ට තමයි පූර්ණ සුදුසුකම තිබෙන්නේ. ඊට වැඩි මිලක් අවුරුදු විස්සක් ගෙවන්න සිදුවෙන චීන සමාගමට මේක දෙනවා.

මෙගවොට් 300කට එක ඉඩමේ විදුලි බලාගර දෙකක් ඇති කරන්න රාජ්‍ය සමාගමට ඉඩ දෙනවා කියනවා.එහෙම කරන්න බෑ. ටෙන්ඩර් කැඳවීමකින් තොරව කැබිනට් තීන්දුවකින් විදුලි බලාගාරයක් ඇති කරන්න බෑ.

මේක ලංකා ඉතිහාසයේ විශ්මිතම ටෙන්ඩර් ගනුදෙනුවයි. ටෙන්ඩරයේ අඩුමිල ඉදිරිපත් කරපු කෙනාටත් විදුලි බලාගාරය ඉදිකිරීමට දෙනවා. වැඩිමිල ඉදිරිපත් කරපු කෙනාටත් අවසරය දෙනවා. දෙන්නාටම අවසර දෙන්නේ එකිනෙකට වෙනස් මිල ගණන් දෙකකට.

රන්ජන් ඇමතිතුමා කියනවා වගේ කොකේන් ගහන ඇමතිවරු මේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරනවද කියලා සැකයක් මතුවෙනවා.

ලංකා ඉතිහාසයේ මේ ආකාරයට ටෙන්ඩර් ප්‍රධානයක් කරලා නෑ. මේ තුළින් රටට  වෙන  පාඩුව ගැන පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය නඩු පනවලා තිබුණා. අනේ රවී කරුණනායක අමාත්‍යවරයා අමාත්‍යධුරයට පත්වීමෙන් පස්සේ නඩුව ඉල්ලා අස්කරනවා. මෙය අවශ්‍යයෙන්ම දූෂිත, විනිවිද භාවයෙන් තොර ගනුදෙනුවක්. අපි ජනපතිතුමාගෙන්, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මැතුතමත්, දිනේෂ් ගුණවර්ධන මහතාත් ජනපතිතුමාට දැනුම් දුන්නා මේ ටෙන්ඩර් ගනුදෙනුවට අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත් කරන්න කියලා.”

Read more

Local News