පෙරහැර රටේ සංස්කෘතික අනන්‍යතාවය පෙන්නුම් කරන කැඩපතක් බව ජනපති කියයි

Share

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41 ක් වන නවම් මහ පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත වඩා හිඳුවා චාරිත්‍රානුකූලව පෙරහැර ආරම්භ කිරීම ඊයේ(19) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ජනාධිපතිතුමා ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය වැඳ පුදා ගෙන ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කරනු ලැබු අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහභාගි විය.

එහිදි පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේ පෙරහැර යනු මෙරට සංස්කෘතියට අභියෝග එල්ලවන අවස්ථාවක අපේ රටේ සංස්කෘතික අනන්‍යතාවය පෙන්නුම් කරන කැඩපතක් වන බව ය. මෙම පෙරහැර පැවැත්වීමට නායකත්වය ලබා දෙන මේ වනවිට රෝගාතුරව ප්‍රතිකාර ලබන ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය ද ජනාධිපතිතුමා විසින් ප්‍රාර්ථනා කරනු ලැබීය.

ගංගාරාම විහාරාධිකාරී පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන, අමාත්‍යවරුන් වන රුවන් විජේවර්ධන, සාගල රත්නායක, පා.ම මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ද තානාපතිවරු ඇතුළු දෙස් විදෙස් බැතිතුමන් අති විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News