ක්‍රිකට් නිලවරණය හෙට

23

හෙට(21) දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී මොහාන් ද සිල්වා මහතාට ලේකම් තනතුර සඳහා ද රවීන් වික්‍රමරත්න මහතාට උප සභාපති සහ සහකාර ලේකම් තනතුරු සඳහා ද තරඟවැදීම සඳහා බාධාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍යවරයා අද(20) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

ක්‍රිකට් නිලවරණය සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

මොහාන් ද සිල්වා මහතා විසින් sri lanka cricket ආයතනයේ සභාපති ධුරය සඳහා තරඟවැදීමට නාමයෝජනා ඉදිරිපත් කළ බවත් රවීන් වික්‍රමරත්න මහතා විසින් එම ආයතනයේ උප සභාපති ධුරයට තරග කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ බවත් පෙත්සම්වලින් සඳහන් වෙයි.

එහෙත් එම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීන්දු කර ඇතැයි පවසන පෙත්සම්කරුවන් මෙසේ සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බවයි කියා සිටියේය.

මේ හේතුවෙන් ප්‍රතික්ෂේප කළ තමන්ගේ නාමයෝජනා යළි බාර ගෙන තමන්ට නිලවරණයට තරඟ කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට නියෝගයක් ‍ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කරන මෙන් ද එම පෙත්සම්වලින් මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු ඉල්ලා තිබේ.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද කැඳවනු ලැබුවේය.

එහිදී වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කාර මොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරඟ කිරීමට බාරදුන් නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම කර තිබුණද ඔහුට එම ආයතනයේ ලේකම් ධුරය සඳහා තරඟ කිරීමට බාධාවක් නොමැති බවයි.

ඒ අනුව ලේකම් තනතුර සඳහා ඔහු විසින් බාරදුන් නාමයෝජනා පත්‍රය පිළිගෙන තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

එමෙන්ම පෙත්සම්කාර රවීන් වික්‍රමරත්න මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති සහ නියෝජ්‍ය ලේකම් යන තනතුරුවලට තරඟ කිරීමට බාධාවක් නොමැති බවත් එම තනතුරු සඳහා ඔහු විසින් බාරදුන් නාමයෝජනා බාර ගෙන තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් රාජරත්නම් මහතා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අධිකරණය හමුවේ දැනුම් දුන් එම සමථය සටහන් කරගත් විනිසුරු මඩුල්ල ඒ පිළිබඳව නිලවරණ කමිටුව දැනුවත් කරන මෙන් ද අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

අනතුරුව මෙම පෙත්සම් සලකා බැලීම මාර්තු මස 21 වනදා සිදු කරන බව අධිකරණය නියෝග කළේය.