දේශීය කිරි ගොවියා නඟාසිටුවීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නවා – ජනපති

Share

ඊයේ (05) පෙරවරුවේ පොළොන්නරුව, අරලගංවිල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ, විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක‍්‍රමණය කිරීමට ඉඩ නොතබා දේශීය කිරි ගොවියා නඟාසිටුවීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවයි.
ළදරු කිරිපිටි සඳහා සහන ලබා දෙන අතරම, පිටරටින් ගෙන්වන අනෙකුත් කිරිපිටිවලට සීමා පනවමින් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදලක් වැය කෙරෙන අතර, එය රටේ ආර්ථිකයට දැඩිව බලපා ඇති බව පැවසූ ජනාධිපතිතුමා ලෝකයේ සංවර්ධනය වූ කිසිදු රටක් අද විදේශීය කිරිපිටි භාවිතා නොකරන බව ද කියා සිටියේය. අද ශ්‍රී  ලංකාව පිටරටින් ගෙන්වන කිරිපිටි වැඩිපුරම භාවිතා කරන රටක් බවට පත්ව ඇති අතර මෙම තත්ත්වය වහා වෙනස්විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
රට ඉදිරියට ගෙන යාමේදී තමාට අවශ්‍ය වන්නේ වංචාවෙන්, දූෂණයෙන් තොර අවංක දේශපාලන කඳවුරක් බව ද මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

Read more

Local News