සෙනරත්ට එරෙහි නඩුවේ විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක්

Share

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් විත්තියේ සාක්ෂි නොකැඳවාම ඔවුන්ව නිදහස් කරන මෙන් විත්තියේ නීතිඥවරු විසින් අද(22) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී විත්තිකාර ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විවෘත අධිකරණයේ ඉල්ලීමක් කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් විත්තියේ සාක්ෂි නොකැඳවාම ඔවුන්ව නිදොස්කොට නිදහස් කරන්නැයි ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීමට අදාළව කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව නිසි පරිදි ඔප්පු වී නොමැති බවයි.

ලිට්රෝ ගෑස් සමාගමේ සිට කෑන්විල් සමාගම වෙත ආයෝජනය කළ රුපියල් පන්සීයක මුදලක් නැවත හෙලන්කෝ සමාගම වෙත ගොස් ඇති බව සාක්ෂිවලින් තහවුරු වී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එම මුදල් සාවද්‍ය පරිහරණයක් සිදු වූ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව ද කියා සිටියේය.

මෙම ඉල්ලීමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම ලබන සදුදා(25) සිදු කිරීමට නියමිතව තිබේ.

Read more

Local News