අගමැති පොලිසියට සිය ස්තූතිය පළ කරයි

Share

ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කරමින් පොලිසියට ස්වාධීනව කටයුතු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට එරෙහිව පැවති දේශපාලන බලපෑම් ඉවත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහි ප්‍රතිඵල අද වන විට ශ්‍රී ලංකාව තුළත්, ඉන් පිටතත් ලැබෙමින් තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් නැවත වතාවක් විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය පසුගිය 23දා අත්අඩංගුවට ගත් බවත්,ඒ හා සම්බන්ධ වූ සියලූ නිලධාරීන්ට තම ස්තුතිය පළ කර සිටින බවත් වික්‍රමසිංහ මහතා එහිදි පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (24) දින අරණායක, මාවතගොඩ, රිවිසඳ මහා විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම උත්සවයට සහභාගි වීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරණායක උස්සාපිටිය, ශ්‍රී සුමංගල විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමට ද සහභාගි විය.

රිවිසඳ විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,

“පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය නැවත වතාවක් රටේ විශාලම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඊයේ අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

එය මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීමේ වැඩසටහනේ ඉතා හොඳ පියවරක් බව කිව යුතුයි.

මෙය සිදු කිරීමට හැකි වුණේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීමේ වැඩසටහනට එල්ල වූ දේශපාලන බලපෑම් ඉවත් කිරීමට අපට හැකි වූ නිසයි.

ජාතික පොලිස් කොමිසම අපි ආරම්භ කළා. මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට එරෙහිව එල්ල වූ දේශපාලන මැදිහත් වීම වැළැක්වීමට ඒ හරහා අපට හැකියාව ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළත්, ශ්‍රී ලංකාවෙන් පිටතත් දැන් අපිට දකින්නට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයි. අප ඒ කටයුතු සිදු කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් “යැයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News