කොළඹ වරාය සුහුරු වරායක් බවට පත් කිරිමට පියවර

Share

ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වරාය වන කොළඹ වරාය නව තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක,  සුහුරු වරායක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා‍ පවසා සිටියේ ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව ක්‍රියාත්මක වරාය අධිකාරිය මගින් මෙහෙයවන වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ සදහා රුපියල් මිලියන 929ක මුදලක් වෙන්කර ඇති බවයි.

තවද කොළඹ වරාය ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක වන සුහුරු වරායක් බවට පරිවර්තනය කිරීම කාලීන අවශ්‍යතාවක් බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ වරාය නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් ස්වයංක්‍රීය පද්ධතිවලින් යුක්ත සුහුරු වරායක් බවට පත්කිරීම මඟින් පාරිභෝගික කලමණාකරනය සහ සේවා සැපයීමේ ක්‍රියාවලයේදී කොළඹ වරාය සහයෝගයෙන් හා සාමුහිකත්වයෙන් වර්ධනය වනු ඇති බවයි.

වේගයෙන් දියුණුවන තාක්ෂණය සමග ස්වයංක්‍රිය  පද්ධති වලින් ක්‍රියාත්මක සුහුරු වරායක අවශ්‍යතාව අත්‍යවශය සාධකයක් බවට ඉස්මතු වෙමින් පවති.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය මගින් ඒ සඳහා අවශ්‍ය මුලික අඩිතාලම සකසනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ පර්යන්ත මෙහෙයුම් කටයුතු සහ නැව්බඩු මෙහෙයවීම් කිසිදු ගට්ඨනයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය තොරතුරු තාක්ෂණික පහසුකම් සහ තොරතුරු පද්ධතින් නවීකරණය කෙරෙනු ඇත.

මෙම ව්‍යාපෘතින් ඉදිරි මාස 12ත් 18ත් අතර කාලසීමාව තුල සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වන බවට අමාත්‍යවරයා පැවසිය.

මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ වරාය තුල දොරටු ස්වයංක්‍රිය කරණ පද්ධතියක්, අංගන ස්වයංක්‍රිය කරණ පද්ධතියක්, පර්යන්ත ස්වයංක්‍රිය කරණ පද්ධතියක්, DGPS පද්ධතියක් සහ තවත් ස්වයංක්‍රිය පද්ධති රාශියක් ස්ථාපනය කරනු ඇත.

ඒ අනුව කොළඹ වරාය ඉදිරියේ දි ඉතා කෙටි කාල සීමාවක් තුළ විශාල මෙහෙයවීම් ප්‍රමාණයක් සිදු කරන කාර්යක්ෂම වරායක් බවට පත්වනු ඇති බවට අමාත්‍යවරයා ප්‍ර‍කාශ කර සිටියේය.

එබැවින් මෙම සංවර්ධන අරමුණු සාක්ශාත් කර ගැනීමේ දී තොරතුරු තාක්ෂණික සහ තොරතුරු පද්ධති සංවර්ධනය මෙන්ම වරායේ පිරිසිදු බව, සේවක ආකල්ප, පරිපාලන කටයුතු සහ සේවක සුභ සාධනය ආදී අංශද සමාන පරිවර්ථනයකට ලක් කළ යුතු බව අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News