විල්පත්තුවේ පෙත්සමට අදාළ තීන්දුව අගෝස්තු මසට කල් යයි

Share

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම නඩුවේ තීන්දුව අද(27) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ නඩු තීන්දුව සූදානම් නොමැති බවත් එම නඩු තීන්දුව ප්‍රකාශ කිරීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තබන බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අමාත්‍ය රිෂාද් බදියුදීන් ඇතුළු පාර්ශව කීපයක් නම් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති විල්පත්තු වනාන්තර කලාපය තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුළින් පාරිසරික වශයෙන් විශාල හානියක් සිදුවන බවයි.

පාරිසරික නීති උල්ලංඝනය කරමින් කර තිබෙන මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කර ලෙස වගඋත්තරකරුවන්ට රිට් ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News