යහපාලනය මැතිවරණ කල් දමන බව මහින්ද කියයි

Share

අළුත් ක්‍රමයට ඡන්දය පැවැත්වෙනවා නම් විපක්‍ෂය වශයෙන් වාසි වූවත් නැතත් ඒ ගැන නොසිතා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට එකඟ බවත්, ක්‍රමය නොව ඡන්දය පැවැත්වීම වඩා වැදගත් බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඊයේ (26) පස්වරුවේ සත්‍ය ගවේශකයෝ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් විජේරාම නිල නිවසේදී හමු වූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

යහපාලනයක මූලික අරමුණක් වනුයේ නිසි කලට ඡන්ද පැවැත්වීම වුවත් යහපාලනය ගැන කතාකරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවම මැතිවරණ කල් දැමීමට ක්‍රියා කිරීම ජනතාවගේ බලාපොරාත්තු සුන් කිරීමක් බවත්, ජනතාව සතු අයිතිය උදුරා ගැනීමක් බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පෙන්වා දෙයි.

තම පාලන කාලය තුළ නිසි කාලයටත් පෙර මැතිවරණ පැවැත්වූ බව සඳහන් කළ විපක්ෂ නායකවරයා ඇතැම් පාර්ශවයන් විසින් උතුරේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් දොස් පැවරුවද එම මැතිවරණ ප්‍රතිඵල ගැන නොසලකා උතුරේ ජනතාවට තම ඡන්ද අයිතිය පාවිච්චි කිරීමට ඉඩකඩ සලසා දුන් බවද මතක් කළේය.

සත්‍ය ගවේශකයෝ සංවිධානය විසින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනුකර ඇති අතර ඒ ගැන විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම්වත් කිරීමට හා ඒ සඳහා ඒ මහතාගේ සහාය ලබා ගැනීම මෙම හමුවේ අරමුණ විය.

ඔවුන් විසින් ගොනුකරන ලද නඩුවට අදාල ලිපි ගොනුවක්ද මෙම අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදෙන ලදී.

Read more

Local News