විපක්‍ෂ නායක සහ ඉරාන තානාපති අතර හමුවක්

Share

වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ ඉරාන රජය විසින් ණය ආධාරයක් ලෙස ලබා දුන් උමාඔය ව්‍යාපෘතිය වසර එක හමාරක් නවතා තැබීමෙන් ඉරානයට කිසිඳු පාඩුවක් සිදු නොවූ අතර එයින් පාඩුව සිදු වූයේ ශ්‍රී ලංකාවට බව ඉරාන තානාපති මොහොමඩ් ශෛයිරී අමිරානි (Mohammad Zaeri Amirani) මැතිතුමා පැවසීය.

ඉදිරි දිනයකදී උමාඔය නිරීක්‍ෂණය කිරිමට පැමිණෙන ලෙස ඉරාන තානාපතිතුමා විසින් විපක්‍ෂ නායකතුමාට ආරාධනා කළ අතර එතුමා විසින් ඒ සඳහා එකඟතාවය පළ කළේය.

ඒ බව පැවසුවේ අද (27) දින තානාපතිතුමා පෙරවරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විජේරාම නිල නිවසෙදී හමුවූ අවස්ථාවේදීය.

වත්මන් රජය බලයට පත්වූ පසු රජයේ බලධාරීන්ගෙන් තම රජය ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු නොනවත්වන ලෙස තමා ඉල්ලා සිටියද ඔවුන් එය පිළිනොගත් බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

තවද, තානාපතිතුමා සඳහන් කළේ ඇමරිකාව විසින් ඉරානයට ආර්ථීක සම්බාධක පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ද තෙල් මිලදී නොගන්නා බවයි. නමුත් ආසියාවේ අනෙකුත් රටවල් තෙල් මිලදී ගන්නා බව පැවසීය.

එසේම තානාපතිවරයා යොජනා කළේ ඉරානයෙන් තෙල් ලබා දීමේදී මුදල් වෙනුවට තේ, රබර් සහ කුළුබඩු වර්ග ශ්‍රී ලංකාවෙන් ලබාදෙන ක්‍රමවේදයක් හදුන්වා දීමෙන් දෙරටටම වාසි දායක තත්වයක් උදාකර ගත හැකි බවයි. එම යෝජනාව පිළිබඳව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුවිය.

Read more

Local News