ත්‍රීමාන සෞඛ්‍ය තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීම මාර්තු මස සිට

Share

ත්‍රීමාන සෞඛ්‍ය තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරිම කොළඹ ජාතික රෝහලේ ලබන මාසයේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ 26 වන වාර්ෂික සැසිවාරය සහ නව වෛද්‍ය පර්යේෂණ එළිදැක්වීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

“හතරවන කාර්මික විප්ලවය සහ සෞඛ්‍ය සේවය” යන තේමාව යටතේ මෙම සැසිවාරය තෙදිනක් පුරා පැවැත්වෙයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, “මම මගේ කථාව ප්‍රශ්නයකින් ආරම්භ කරනවා. දේශපාලනයට සෞඛ්‍ය ගැලපෙනවා ද, දේශපාලනය නැතිව සෞඛ්‍ය සංවර්ධනය කළ හැකි ද යන්න එම ප්‍රශ්නයයි. එම ප්‍රශ්නයට පිළිතුර පසුගිය වසර 03 තුළ දී ඔබට දක්නට ලැබුනා.

හතරවන කාර්මික විප්ලවය සහ සෞඛ්‍ය සේවාව කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. තොරතුරු බෙදාහැරිමට එය මහෝපකාරි වෙනවා. පළමුවන සහ දෙවන කාර්මික විප්ලව වල දී නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කළා. විවිධ ජාතීන් නාගරීකරණය වීම ද මෙහිදී සිදු වුනා. මහජන සෞඛ්‍ය පිළිබදව අවධානය යොමු කළ අතර, රජයන් විසින් මහජන සෞඛ්‍ය සේවාව සදහා නව රෙගුලාසි හදුන්වා දුන්නා. එහෙත් ඇතැම් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් නොසලකා හැරීමක් සිදුව තිබෙනවා.

කාර්මිකරණයත් සමඟ සමාජවාදය සහ දේශපාලන දර්ශන බිහි වුනා. මුද්‍රණ කටයුතු පුළුල් වුනා. නමුත් අද වනවිට සමාජ මාධ්‍ය ප්‍රබල වී තිබෙනවා. 03 වන කාර්මික විප්ලවය තුලින් පරිගණකය බිහි වුනා. තොරතුරු හුවමාරු කිරීම පහසු වූ අතර, ඩි.එන්.ඒ ද්විත්ව සර්පිලාකාර සැළස්ම සොයා ගැනුනා. ඇතැම් ඖෂධ වර්ග සොයා ගත් අතර, ආර්ථිකය, සමාජය වෙනස් වුනා. නව වෙළෙදපොල නිර්මාණය වුනා. ඇතැම් අර්බුද නිමා කිරීම සදහා අපට ද සටන් කිරීමට සිදු වුනා. ජීවන පැවැත්මේ වෙනස්වීම් සිදු වූ අතර, දුම්කොළ භාවිතයෙන් සිදුවන අහිතකර දෑ සොයා ගැනුනා. මේ පිළිබදව දේශපාලන නායකත්වය අවධානය යොමු කිරිම ද ඉතාම වැදගත්.

හතරවන කාර්මික විප්ලවයේ දී සයිබර් භෞතික ක්‍රමවේද පිළිබද අවධානය යොමු කර තිබෙනවා. ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව, පුද්ගලයාගේ ජාන සංයුතියට අනුව ප්‍රතිකාර කිරිම, පෞද්ගලික වෛද්‍ය සේවා කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

සෞඛ්‍ය සහ වෛද්‍ය ප්‍රතිකාර වල අනාගතය වන්නේ මෙම වෛද්‍ය ක්‍රමයි. වර්තමානයේ ඖෂධ සොයා ගැනීම රසායනාගාර මගින් පමණක් නොව පරිගණක මගින් ද සිදු වෙනවා. සායනික තොරතුරු ගබඩා කර ගත හැකි පද්ධතියක් ද ක්‍රියාත්මකයි.

වසර 50 කට පෙර දුම්කොළවල හානිය සොයා ගත්තත් දුම්කොළ පාලනයට නීති රීති සකස් කිරීමට ද වසර 50 ක කාලයක් ගත වුනා. ජීවන තත්ත්වයේ වෙනස්වීම් නිසා බෝනොවන රෝග ඇතිවීමේ අවධානම ද වැඩි වී තිබෙනවා.

ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දුන්නේ ද සෞඛ්‍ය සේවාවේ නව දැක්මක් ලෙසයි. දේශපාලන මැදිහත්වීම් සහ කළමණාකරණය තුලින් සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙනයාමේ දී වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය නව තාක්ෂණය භාවිත කිරිම මම අගය කරනවා. ප්‍රතිපත්ති සම්පාදනයේ දී එය ඉතා වැදගත් වෙනවා.” බව වැඩිදුරටත් පැවසීය.

Read more

Local News