ප්‍රතිසංස්කරණය කළ නාලන්දාවේ මලලසේකර රඟහල සිසු අයිතියට

Share

ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර සමරු රඟහල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද(28) උදෑසන විවෘත කරනු ලැබීය.

ආදි ශිෂ්‍ය, දෙමාපිය අරමුදලින් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ මූල්‍යමය දායකත්වයෙන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම රඟහල ප්‍රතිසංස්කරණය කොට නවීකරණය කොට ඇත.

නාලන්දා විදුහලේ නිර්මාතෘ ලෙස සැලකෙන විදුහලේ පළමු විදුහල්පති වන ගුණපාල මලලසේකර මැතිඳුන්ට උපහාර පිණිස මෙම රඟහල මලලසේකර රඟහල නමින් නම් කර ඇත.

2006 වසරේ අප්‍රේල මස 06 වන දින රඟහලේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් රඟහල ගිනිබත් වී විනාශ විය. එවකට විදුහල්පතිවරයා වූ හේමන්ත ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් රඟහල ප්‍රතිසංස්කරණය කිරීම නැවත ආරම්භ විය.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ මෙම වසර 4 තුළ පාසල් 9500කට ආසන්න ප්‍රමාණයකට ගොඩනැගිලි ඉදිකර දී ඇති බවයි.

නවීන ලෝකයට යන්න, ලෝකයේ දැනුම බෙදා ගන්න ඩිජිටල් පංති කාමර විදුහල් වලට ලබා දී ඇති බවත් නාලන්දා විදුහලටද ඩිජිටල් පංති කාමරයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News