ගුවන්තොටුපොළේ සේවාව ගැන සෑහීමකට පත් නොවන බව අර්ජුන කියයි

කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් මගීන්ට ලබා දෙන සේවාව ගැන තමන්ට කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් ඉදිරියේදී ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.

ඊයේ මධ්‍ය රාත්‍රියේ (28) කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී දෙස් විදෙස් මගීන්ට විදීමට සිදුවන අපහසුතා සහ දුෂ්කරතා සොයා බැලීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී ඇත.

පැය දෙකකට අධික කාලයක් පැවැති එම නිරීක්ෂණ චාරිකාවේදී ආරක්ෂක පරීක්ෂාව, ගුවන් ප්‍රවේශපත්‍ර පරීක්ෂාව, ආගමන සහ විගමන පරිශ්‍රය ඇතුළුව ගුවන් තොටුපොළේ සෑම අංශයක්ම අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක් විය.

එහිදී ගුමන් මගීන් අපසුතාවට පත් කරන දුර්වලතා සහ අඩුපාඩු රැසක් හඳුනා ගත් අතර අමාත්‍යවරුන් දෙපළ නිලධාරීන්ට කඩිනම් වැඩපිළිවෙලක් යටතේ ගුවන් මගීන්ට වඩාත් උසස් සේවාවක් ලබා දීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා ලෙස පමණක් නොව සාමාන්‍ය ගුවන් මඟියෙකු ලෙසටත් මම මේ ප්‍රශ්නය බොහෝ කාලයක සිට තමා හඳුනාගෙන ඇති බවත් ඒ නිසාම විෂය භාර අමාත්‍යවරයා ලෙස මේ ප්‍රශ්නවලට ස්ථීර සාර්ථක විසදුම් ලබා දීමට තමන් අපේක්ෂා කරන බවත් ඔහු විසින් මෙහිදී සඳහන් කරනු ලැබීය.

එමෙන්ම මේ වන විටත් ගුවන් තොටුපොළ පරිශ්‍රය නවීකරණය කිරීමටත්, පහසුකම් වැඩි කිරීමටත් කටයුතු කරමින් සිටින බව හා ගුවන් මගියාට සතුටින් මේ රටින් පිටව යාමටත් සතුටින් මෙරටට පැමිණිමටත් අවශ්‍ය පරිසරය සැකසීම තම අරමුණ වී ඇති බවත් ඇමතිවරයා සඳහන් කරනු ලැබීය.