බ්ලුමැන්ඩල් සංඛ අත්අඩංගුවට

Share

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන “බ්ලුමැන්ඩල් සංඛ” හෙවත් ඩී.සංඛ නැමැත්තා සහ තවත් ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේ තමිල්නාඩුහි, තංගප්පා නගර් ප්‍රදේශයේදී එරට ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඔවුන් සමඟ සිටි තවත් ඉන්දීය ජාතිකයෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වෙබ් අඩවි ඇතුළු ඉන්දීය මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට තමිල්නාඩු ප්‍රාන්තයේ තංගප්පා නගර් ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට එරට රාමනාදපුරම් කේනික්කරෙයි පොලීසියට ලද තොරතුරක් මත විශේෂ වැටලීමක් සිදුකර ඇත.

නිවසේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අවස්ථාවේදීය.

පළමුව මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කරමින් ඉන්දියාවේ රැඳී සිටීමේ චෝදනාවටය.

පොලීසිය තව දුරටත් සිදුකළ විමර්ශන වලට අනුව අත්අඩංගුවට පත්ව සිටින ලාංකිකයන් දෙදෙනා කොළඹ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි ඩි.සංඛ සහ 28 හැවිරිදි සබ්රාස් මොහොමඩ් යන අයට බවට මේ වනවිට අනාවරණ කරගෙන තිබෙන අතර ඩි.සංඛ නැමැත්තා මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන “බ්ලුමැන්ඩල් සංඛ” බවට සැක පළ කරයි.

මොවුන් දෙදෙනා මෙරට මනුෂ්‍ය ඝාතනයක් සිදුකොට ඉකුත් දෙසැම්බර් මාසයේදී නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බව එරට ආරක්ෂක අංශ සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කර ගෙන ඇත.

එලෙස ඉන්දියාවට ඇතුළු වූ පසු බ්ලුමැන්ඩල් සංඛ එරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පතක් ද ලබාගෙන ඇති අතර එහි ඔහුගේ නම සඳහන් වන්නේ “කුමාර්” ලෙසටය.

එම හැඳුනුම්පතට අනුව ඔහුගේ පදිංචිය තමිල්නාඩු කින්ඩුක්කල් ලෙස සඳහන් කර ඇති බවද එරට පොලීසිය සඳහන් කරයි.

Read more

Local News